නිල නොලත් ඉන්ටසිටිය – රුහුණු කුමාරි

1953 අවුරුද්දේදි ලංකාවට M1 වර්ගයේ ඩීසල් එන්ජින් ගෙන්වීමත් එක්කම එවකට දුම්රිය සාමන්‍යාධිකාරීවරයාව සිටි බී.ඩී.රම්පාල මහතා ඇතුලු දුම්රිය බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ගත්තා සීඝ්‍රගාමී මගී දුම්රිය සේවාවක් පටන් ගන්න. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට 1954 දෙසැම්බර් වෙනකොට කොළඹ හා යාපනය අතර “Yaalpanam Express” නමිනුත්, කොළඹ හා මහනුවර අතර “Mahanuwara Express” නමිනුත්, කොළඹ හා මාතර අතර “Ruhunu Express” නමිනුත්, සීඝ්‍රගාමී දුම්රිය සේවාවන් තුනක් ආරම්භ වෙලා තිබුනා කියලා දුම්රිය ඉතිහාස කතා අතර කියවෙනවා.

මේ කාලය වෙනකොටම කොළඹ ක්‍රමය (Colombo Plan) යටතේ ලංකාවට කැනඩාවෙන් එනවා M2 වර්ගයේ ඩීසල් එන්ජින් 5ක්. ඒ එක්කම තමයි “යාල් දේවී” , ” උඩරට මැණිකේ” , “රුහුණු කුමාරි” කියන තුන්දෙනා කරලියට එන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පල කරපු සුප්‍රකට “ප්‍රියංකර සොහොයුරියන් තිදෙනා” කියන දැන්වීමට අනුව මේ දුම්රියන් තුනම 1956.04.23 වෙනිදා ආරම්භ කරපු සේවාවන් විදියට බොහෝ දෙනෙක් දැනගෙන හිටියත් ඇත්තටම රුහුණු කුමාරි එයාගේ වැඩ පටන් අරන් තියෙන්නේ 1955.10.24 වෙනිදා. 1956.04.23 වෙනිදා වෙලා තියෙන්නේ යාල් දේවී එක්ක උඩරට මැණිකේ පටන් ගැනීමයි රුහුණු කුමාරිගෙ කාලසටහන සංශෝධනය වීමකුයි විතරයි.

1955.10.24 වෙනිදා හවස හතරට කොළඹ කොටුවේ පස්වෙනි වේදිකාවෙන් (දැනට හත්වෙනි වේදිකාව) රුහුණු කුමාරි එයාගෙ මංගල ගමන් වාරය ආරම්භ කරන්නේ M2-572 British Columbia එන්ජින් එකත් එක්කයි.

එදාම දිණමින පත්තරේ මේ ගැන සටහනක් ලියැවෙන්නේ “රුහුණු කුමාරි අද ගමන් ගනී“ යන මැයෙන්.

කොළඹ මාතර අතර විශේෂ සුව පහසුකම් හා ආහාර ලබා ගැනීමේ පහසුවද ඇති සීඝ්‍රගාමී දුම්රියක් රුහුණු කුමාරි නමින් අද පස්වරු 4ට කොටුවේ දුම්රිය ස්ථානයෙන් ඇරඹේ.

එදාට පහුවදා, ඒ කියන්නේ 1955.10.25 වෙනිදත් දිණමින පත්තරේ මේ ගැන සටහනක් ලියැවෙනවා “රුහුණු කුමාරි මංගල ශ්‍රියෙන් ගමනාරම්භ කරයි“ කියලා.

ඉක්මන් සහ සැප පහසුකම් සහිත සේවයක් මහජනයාට ලබා දී දුම්රිය සේවයේ තරඟකරුවන් සමඟ විශේෂයෙන් බස් සේවාවන් සමඟ තරඟ කල යුතු බවද ඒ තරඟයේ පළමු පියවර එය බවද රුහුණු කුමාරි නමැති නවීනතම සීඝ්‍රගාමී දුම්රිය සේවය ආරම්භ කිරීමේ උත්සවයේදී දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඩී.රම්පාල මහතා ඊයේ ප්‍රකාශ කලේය. අගමැති සර් ජෝන් කොතලාවල මහතාත් ගමනාගමන ඇමති මේජර් මොන්ටේගු ජයවික්‍රම මහතාත් රුහුණු කුමාරි ගමනෙහි යෙදවූහ. මැති ඇමතිවරුන් හා විදේශීය තානාපති නියෝජිත වරුන් ඇතුලු විශාල පිරිසක් මේ උත්සවයට සහභාගී වූහ. නමෝ නමෝ මාතා ජාතික ගී හඬ හා රතිඤ්ඤා පුපුරන හඬ මධ්‍යයේ රුහුණු කුමාරි සුබ නැකතින් කොටුවේ දුම්රිය පොළෙන් මාතර බලා පිටත්ව ගියාය.

උපුටා ගැනීම : LANKA GOVERNMENT RAILWAY MAGAZINE (L.G.R.M) ෆේස්බුක් සමූහයෙනි

මේ විදියට පටන් ගත්ත රුහුණු කුමාරි එදා ඉඳන් අද වෙනකල්ම දහස් ගණනක් වූ මගී ජනතාවට සේවය කරමින් දිනපතාම උදේට මාතර සිට මරදානටත්, හවසට මරදාන ඉඳලා මාතරටත් ධාවනය වෙනවා. 2007 අවුරුද්දෙදි ලංකාවට චීන මැදිරි ආනයනය කිරීමත් එක්කම ඒ මැදිරි මුලින්ම යොදාගන්නෙත් මේ රුහුණු කුමාරි දුම්රියටයි. එවකට ප්‍රවාහන ඇමතිවරයාව සිටි ඩලස් අලහප්පෙරුම මහතාත් සහභාගී වුණු මේ ගමන යෙදුනේ 2007.10.22 වැනිදා M4 756 ලක්ෂපාන එන්ජිම යොදාගෙනයි.
ඊටත් අවුරුදු 4කට පස්සෙ 2011දී S11 බලවේග කට්ටල ගෙන්වීමෙන්  පස්සෙ අද දක්වාම රුහුණු කුමාරිය වෙනුවෙන් භාවිතා වෙන්නේ ඒ S11 ද්විත්ව බලවේග කට්ටලයක්.

දිනපතාම උදේ 6.05ට අංක 8059 දරන දුම්රිය විදියට මාතරින් ගමන් අරඹන මෙයා වැලිගම, අහංගම, ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, කොස්ගොඩ, අලුත්ගම, දකුණු කළුතර, කොළඹ කොටුව යන දුම්රිය ස්ථාන වල පමණක් නවතිමින් උදෑසන 08.49ට මරදානට ළඟා වීමට නියමිතයි.
>>>සම්පූර්ණ කාලසටහන<<<

දිනපතාම හවස 3.40ට අංක 8058 දරන දුම්රිය විදියට මරදානෙන් පිටත් වෙන රුහුණු කුමාරිය කොළඹ කොටුව, දකුණු කළුතර, අලුත්ගම, කොස්ගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, අහංගම, වැලිගම යන දුම්රිය ස්ථාන වල පමණක් නවතිමින් සවස 6.20ට මාතරින් සිය ගමන අවසන් කිරීමට නියමිතයි.
>>>සම්පූර්ණ කාලසටහන<<<

කිලෝ මීටර 159කට ආසන්න දුරක් සීමිත නැවතුම් කීපයක් සහිතව පැය 2ක් හා විනාඩි 40ක් පමණ කාලයක් තුල ගෙවා නිම කරන රුහුණු කුමාරි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියකින් සපයන මට්ටමේ සේවාවක් සාමාන්‍ය සීඝ්‍රගාමී දුම්රියක් ලෙස ඉටු කරන්නීය.

Wordpress Social Share Plugin powered by Ultimatelysocial
error: Content is protected !!