නාමය වෙනස්කරගත් රජරට රාජිණී

උතුරු මාර්ගයේ යාපනය හා තලෙයිමන්නාරම දක්වා දුම්රිය සේවය ව්‍යාප්ත වීමත් සමඟ එම ප්‍රදේශ වල බොහොමයක් දෙනා තම ගමන් පහසුව සලසා ගත්තේ දුම්රියෙනි. ඒ වුනත් එම දුම්රියන් අනුරාධපුරයට එන විටත් මගීන්ගෙන් පිරී පැවතුන නිසාවෙන් අනුරාධපුරයෙන් දුම්රියට නගීන මගීන්ට බොහෝ විට සිදුවුනේ තම ගමනාන්තය දක්වාම හිටගෙන යාමටය. ඒ හේතුව නිසාවෙන්ම අනරාධපුර අවට ජනතාව දිගින් දිගමට අනුරාධපුරයෙන් ආරම්භ කොට කොළඹ බලා ධාවනය වන දුම්රියක් ලබාදෙන්නැයි බලධාරීන්ට ඇවිටිලි කරමින් සිටියහ.
1965 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍ය ධූරයට පත්වන්නේ හොරොව්පතාන ආසනය නියෝජනය කළ එඩ්වින් ලොකුබණ්ඩාර හුරුල්ලේ මහතායි. ඒ අනුව ජනතාවගේ ඉල්ලීම් සලකා බැලූ එතුමා ඒ පිළිබඳව සොයා බලා අනුරාධපුරයෙන් ආරම්භ කොට කොළඹ බලා ධාවනය වන දුම්රියක අවශ්‍යතාවය එකල දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාව සිටි බී.ඩී.රම්පාල මහතා හට පැහැදිලි කර දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අනුරාධපුර මගී ජනතාවට 1968 පෙබරවාරි 26 වැනි දින සිට මෙම දුම්රිය හිමි වෙන අතර එම දුම්රිය සීඝ්‍රගාමී දුම්රියක් ලෙස අනුරාධපුරය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන විට එය නවත්වන දුම්රිය ස්ථානයන්හි සිට ගම් බිම් බලා යන මගීන් වෙනුවෙන් ලංගම බස් සේවාවක් ද ඇරඹුනේ හුරුල්ලේ මහතාගේම සංකල්පයකට අනුවයි.

මෙම දුම්රියට නම් තැබුවේද හුරුල්ලේ මහතාම බව කියවෙන අතර ඔහු විසින් යෝජනා කරන ලද එම නම වුයේ “රජරට රාජිණී ” ය. එකල දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන වල පවා එම නම සඳහන්ව තිබී ඇත.

Eral Denis මහතා අප වෙත ලබාදුන් ඡායාරූපයකි.

එකල දුම්රිය අංක 47 හා 48 ලෙස ඉහළ පහළ රජරට රැජින දුම්රිය ධාවනය වුනු අතර එන්න එන්නම මේ වෙත තිබූ මගී ආකර්ෂණය වැඩි විය. ඒ නිසා 1972 වසරේදී දුම්රිය අනුරාධපුරයෙන් ඔබ්බට ධාවනය වූයේ වව්නියාව සිය ගමනාන්තය කරගෙනයි. වසර ගණනාවක් මෙලෙස ධාවනය වුනු රැජිණ 1990 දශකයේ ආරම්භක සමයේ කොළඹ කොටුවෙන් නොනැවතී එකල මුහුදුබඩ මාර්ගයේ අන්තය වූ මාතර දක්වාම ධාවනය වුනා. වසර ගණනාවක් තිස්සේ සිහිනයක්ව පැවති මුහුදුබඩ මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමේ වැඩ පිළිවෙල යටතේ පළමු අදියර ලෙස මාතර සිට බෙලිඅත්ත දකවා කොටසේ වැඩ නිම කිරීමෙන් පසු 2019 අප්‍රේල් 08 වැනිදා සිට රැජිනගේ දකුණු ලකේ ගමනාන්තය වුනේ බෙලිඅත්තයි.

අද වන විට දිනපතා දුම්රියක් ලෙස ධාවනය වන රජරට රැජිණ උදෑසන 03.35ට වව්නියාවෙන් ගමන් අරඹන්නේ අංක 4086 දුම්රිය ලෙසයි. වව්නියාව සිට පොල්ගහවෙල දක්වා කොටසේ මන්දගාමීව ධාවනය වන දුම්රිය එතැන් පටන් සීඝ්‍රගාමී දුම්රියක් ලෙස ධාවනය වී පෙරවරු 10.20ට කොළඹ කොටුවට ලගා වීමට නියමිතයි. එම කොටසේ රැජින නවතින්නේ අලව්ව, මීරිගම, වේයන්ගොඩ, ගම්පහ, රාගම සහ මරදාන යන දුම්රිය ස්ථාන වල පමණී. ඉන් නොනවතින රැජින පෙරවරු 10.30ට කොළඹ කොටුවට සමුදෙන්නේ අංක 8086 දරණ දුම්රිය ලෙස බෙලිඅත්ත දක්වා ගමනාරම්භ කරමිනි. ගල්කිස්ස, පානදුර‍, දකුණු කළුතර, අළුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, තල්පේ, කොග්ගල, අහංගම, වැලිගම, කඹුරුගමුව, මාතර, පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල යන දුම්රිය ස්ථානවල පමණක් නවතිමින් ධාවනය වන දුම්රිය පස් වරු 2.35ට සිය ගමන අවසන් කිරීමට නියමිතයි.

අනුරාධපුරයට ලඟා වීම 04.45 ~~~ ගාල්ලට ලඟා වීම 12.42

එම දුම්රිය එලෙස ධාවනය වන විට උදෑසන 8.45ට අංක 8085 දුම්රිය ලෙස බෙලිඅත්තෙන් ගමනාරම්භ කරන රැජින වැවුරුකන්නල, බඹරැන්ද, කැකණදුර, මාතර, කඹුරුගමුව, වැලිගම, අහංගම, කොග්ගල, තල්පේ, ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, අළුත්ගම, දකුණු කළුතර, පානදුර, ගල්කිස්ස යන දුම්රිය ස්ථාන වල නවතිමින් පස්වරු 12.42 වන විට කොළඹ කොටුවට ළඟා විමට නියමිතයි. එහිදී මඳ විවේකයක් ලබා ගන්නා දුම්රිය පස්වරු 1.15ට වව්නියාව බලා සිය ගමන අරඹන්නේ අංක 4085 දරණ දුම්රිය ලෙසයි. එහිදි රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, අලව්ව සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානවල පමණක් නවතිමින් සීඝ්‍රගාමීව පැමිණෙන දුම්රිය එතැන් පටන් මන්දගාමීව ධාවනය වී පස්වරු 19.58ට සිය දිනය නිමා කරන්නට නියමිතව ඇත්තේ වව්නියාව දුම්රිය ස්ථානයෙනි.

ගාල්ලට ලඟා වීම 10.05 ~~~ අනුරාධපුරයට ලඟා වීම 18.22

අද ලංකාවේ ධාවනය වන දුම්රියන් ගෙන් එක් ගමන් වාරයකදී වැඩිම දුරක් ධාවනය වන රැජිණ එක් ගමන් වාරයකදී සම්පූර්ණ කරන දුර ආසන්න වශයෙන් කිලෝ මිටර 440ක් වන අතර ඒ සඳහා පැය 11කට මඳක් වැඩි කාලයක් ගත කරයි.


One thought on “නාමය වෙනස්කරගත් රජරට රාජිණී

Comments are closed.

error: Content is protected !!