රාත්‍රී නගරාන්තරය – මීනගයා

අද දින සිට කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී සහ රාත්‍රී තැපැල් දුම්රියේ ආසන වෙන්කරවා ගැනීමට අංක XXX කවුළුව වෙත යන්න.

යකඩ කටින් මේ නිවේදනය ඇහුනේ 2004 දෙසැම්බර් 23 වෙනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී. ඒ සිංදු කියන මාළු යන අරුතෙන් පටබැඳුනු මීනගයා නම් දුම්රියේ ආරම්භක දිනයයි. දෙමළ බසින් පාඩුමීන් ලෙසද මෙය හඳුන්වන අතර ඉංග්‍රීසි බසින් Singing fish යැයි කියා තිබුණු බවට මා අසා ඇත. සත්‍ය අසත්‍යතාවක් ගැන හරි හැටි නොදනී. මෙහි සුවිශේෂත්වය වන්නේ දැනට ලංකාවේ ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අතරින් රාත්‍රී කාලයේදී ධාවනය වන එකම නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මෙය වීමයි. එමෙන්ම මෙම දුම්රිය සඳහා වෙනම ටිකට් පත් මුද්‍රණය වන අතර එහි රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය යනුවෙන් සඳහන්ව තිබේ.

ආරම්භක දින මීනගයා රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ධාවනය කරනු ලබන්නේ ජානක ප්‍රනාන්දු නම් වූ පළපුරුදු එන්ජින් රියැදුරු මහතායි. නමුත් ඉන් හරියටම දින තුනකට පසුව ඒ මහතා මෙලොවින් සමුගත්තේ අංක 50 දුම්රිය මුහුණ දුන් සුනාමි අනතුරිනි.

කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා දුම්රිය අංක 6079 ලෙස දිනපතා ධාවනය වන මීනගයා බොහෝ විට රුමේනියන් මැදිරි කට්ටලයක් සමඟ M2 වර්ගයේ එන්ජිමකින් ධාවනය වේ. එම එන්ජිම ගල්ඔය සන්ධිය දුම්රිය ස්ථානයේදී M4 වර්ගයේ එන්ජිමකට මාරු කෙරේ. මෙය වෙනස් වන අවස්ථාද දක්නට ලැබේ. මෙසේ අංක 6079 දුම්රිය ලෙස ප.ව. 7.00 ට කොළඹ කොටුවෙන් පිටත් වන මීනගයා ගම්පහ, පොල්ගහවෙල හන්දිය, කුරුණෑගල, මහව හන්දිය, කලාවැව, කැකිරාව, ගල්ඔය සන්ධිය, හිඟුරක්ගොඩ, පොළොන්නරුව, මනම්පිටිය, වැලිකන්ද, පූනානි, වාලච්චේන, එරාවුර් යන දුම්රිය ස්ථාන වල නවත්වමින් පසුදින උදෑසන 03.35ට මඩකලපුවෙන් සිය ගමන නිමා කිරීමට නියමිතයි.

එමෙන්ම මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා අංක 6080 ලෙස දිනපතා ධාවනය වන මීනගයා බොහෝ විට රුමේනියන් මැදිරි කට්ටලයක් සමඟ M2 එන්ජිමකින් සමන්විත වේ. එම දුම්රිය මඩකලපුවෙන් ප.ව. 8.15 ට පිටත් වී එරාවුර්, වාලච්චේන, පූනානි, වැලිකන්ද, මනම්පිටිය, පොළොන්නරුව, හිඟුරක්ගොඩ, ගල්ඔය සන්ධිය, කැකිරාව, කලාවැව, මහව හන්දිය, කුරුණෑගල, පොල්ගහවෙල හන්දිය, ගම්පහ, මරදාන යන දුම්රිය ස්ථානවල නවත්වමින් පසු දින උදෑසන 04.53ට කොළඹ කොටුවට ළගා වීමට නියමිතයි.


ලංකාවේ දුම්රිය සේවය පටන් අරන් අවුරුදු 140කට විතර පස්සෙ පටන් ගත්ත මේ මීනගයා දුම්රියේදී විශේෂ දෙයක් සිද්ධ වෙනවා 2018 ජූනි මාසෙ 07 වෙනිදා අළුයම. පුරුදු විදියටම මීනගයා කොළඹ කොටුවෙන් මඩකලපුව බලා පිටත් වෙනවා 2018 ජූනි 06 වෙනිදා හවස 7ට. කැකිරාව දුම්රිය ස්ථානයේ පුරුදු විදියට නැවතුන මීනගයා ආපහු ගමන පටන් ගත්තා ඊළඟ නැවතුම වෙන ගල්ඔය හන්දිය දෙසට. මීනගයා පලුගස්වැව දුම්රිය ස්ථානය ආසන්න වෙනකොට දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් දකිනවා ප්‍රසූත වේදනාවෙන් සිටින ගැබිණි මවක්. දරු ප්‍රසූතියට ඉතා ආසන්න අවස්ථාවේ මේ කාන්තාව සිටින බව තේරුම් ගත් ආරක්ෂක නිලධාරියා මේ පිළිබඳව වහාම හබරණ පොලිසියට දැනුම් දෙනවා. ඒ එක්කම ඊළඟ නැවතුම ගල්ඔය හංදිය කරගෙන සිටි මීනගයා හබරණ නැවැත්වීමට අදාළ පියවර ගන්නවා. වහ වහා ක්‍රියාත්මක වුන හබරණ පොලිසීයේ නිලධාරීන්ද හබරණ රෝහලට මේ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව ගීතානි ධම්මිකා නම් වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඇතුළු පිරිසක් හබරණ දුම්රිය ස්ථානයට පිටත් කර හරිනවා. දුම්රිය හබරණට ළඟා වෙනවාත් සමඟ මෙම කාන්තාව දරුවා බිහි කරන අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඇතුළු රෝහල් නිලධාරී මණ්ඩලය මව හා දරුවාව රෝහල් ගත කරනවා. මෙම මව මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි එම්. රිස්මිරා නැමැති දෙදරු මවක් බවත්, ඇගේ හදවත් රෝගී තත්ත්වයක් නිසා දරු ප්‍රසූතිය සඳහා රජයේ රෝහලක නවතා සිටියදී වෛද්‍ය උපදෙස් නොසලකා හරිමින් සිය සැමියා සමඟ මෙම දුම්රියේ ගමන් කිරීමේදී මෙම සිදුවීමට මුහුණ දුන් බවත් පසුව අනාවරණය වෙනවා. දුම්රිය ආරක්ෂක නිලධාරියා, හබරණ පොලිස් නිලධාරීන් සහ හබරණ රෝහලේ නිලධාරී මණ්ඩලයේ කාර්යක්ෂම ක්‍රියා කලාපය නිසා මව හා දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් රෝහලෙන් පිට විය. මෙරට දුම්රිය ඉතිහාසයේ පළමු වතාවටයි මේ වගේ සිදු වීමක් වාර්තා වෙලා තියෙන්නේ.


නගරාන්තර සීඝ්‍රගාමී සහ රාත්‍රී තැපැල් යන නාමයන් දෙකම සහිතව ආරම්භ වුන මීනගයා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ කාලසටහනෙහි පවා මෙය පෙන්වන්නේ රාත්‍රී තැපැල් දුම්රියක් ලෙසය. එහි නගරාන්තර සීඝ්‍රගාමී යන්න අඩංගු නොවේ. නමුත් මෙය සැබැවින්ම නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියකි. එමෙන්ම අනෙක් තැපැල් දුම්රිය වල මෙන් මෙහි POV (Post Office Van) එකක් පවා අඩංගු නැත. නමුත් PBV (Parcel Brake Van) එකක් මෙහි ඇත. එම මැදිරියේ තැපැල් භාණ්ඩ ගෙනයනවා වන්නට ඇත. ත්‍රිකුණාමලය තැපැල් දුම්රියෙන් තැපැල් භාණ්ඩ ගෙනයන අතර ගල්ඔය – මඩකලපුව අතර කොටසේ තැපැල් භාණ්ඩ පමණක් මෙහි ගෙනයනවා වන්නටද පුළුවන. එසේත් නැතිනම් මෙයින් ගෙනියන තැපැල් මළු ගල්ඔය සිට වෙන දුම්රියකින් හෝ වෙනම ප්‍රවාහන මාධ්‍යයකින් ගෙන යනවා විය හැක. එය කෙසේ සිදු වේදැයි තවමත් මා හට දැනගන්නට ලැබී නොමැත.

එය කෙසේ හෝ වේවා මම මේ ලිපිය අවසන් කරන මොහොතේ 6079 ලෙස ධාවනය වන මීනගයා මහව සන්ධිය දුම්රිය ස්ථානයටත් 6080 ලෙස ධාවනය වන මීනගයා වැලිකන්ද දුම්රිය ස්ථානයටත් ඉතා ආසන්නව ඇතිවාට කිසිදු සැකයක් නොමැත.

Wordpress Social Share Plugin powered by Ultimatelysocial
error: Content is protected !!