උතුරු මාර්ගයේ ආරම්භය – පොල්ගහවෙල

කොළඹ සිට ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර 73.82ක් දුර ගෙවා ගිය තැන අපිට හම්බෙන මේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර 74.39ක් ඉහළින් පිහිටලා තියනවා. 1864 දෙසැම්බර් 27 වෙනිදා කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය සේවය ආරම්භ කිරීමෙන් පස්සෙ දුම්රිය මාර්ගය ඉදි කිරීමේ දෙවන අදියර විදියට ප්‍රධාන මාර්ගය පොල්ගහවෙල දක්වා දීර්ඝ වෙනවාත් සමඟ පොල්ගහවෙල දුම්රිය ස්ථානය මහජනතාවට විවෘත වෙනවා. ඒ 1866 නොවැම්බර් 01 වෙනිදා. ඒ එක්කම පොල්ගහවෙල දක්වා මගී ප්‍රවාහන කටයුතු ආරම්භ වෙන අතරම භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රවිශ්ට වෙන්නේද මේ හා සමගාමීවයි.

වැඩි කලක් දුම්රිය මාර්ග අන්තයක්ව සිටීමට පොල්ගහවෙලට හැකි නොවූයේ ඉතා කඩිනමින් පොල්ගහවෙල පසු කරමින් මහනුවර දක්වා දුම්රිය මාර්ගය ඉදිවීමත් සමඟයි. කොළඹ හා මහනුවර අතර දුම්රිය සේවය ව්‍යාප්ත වීමත් සමඟ දිවයින පුරා සිටි වැවිලිකරුවන් ඔවුනොවුන්ගේ පළාත් වලටත් දුම්රිය සේවය ලබා දෙන මෙන් ඉල්ලීම් කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස තව දුරටත් දුම්රිය සේවය රට පුරා ව්‍යාප්ත කරන්නට පටන් ගත් අතර පොල්ගහවෙලින් ආරම්භ වන ලෙස උතුරු මාර්ගය ඉදිකිරීමේ පළමු අදියර ලෙස කුරුණෑගල දක්වා මාර්ග කොටස ඉදි වුනා. 1894 පෙබරවාරි 14 වැනි දින වන විට මෙම කොටසේ වැඩ අවසන් වූ අතර ඒ හා සමගම සාමාන්‍ය දුම්රිය ස්ථානයක්ව තිබූ පොල්ගහවෙල, දුම්රිය මංසන්ධියක් බවට පත් වුනා.

ටිකෙන් ටික දියුණු වූ මෙම දුම්රිය ස්ථානය අද වන විට දුම්රිය වේදිකා 5කින් සමන්විත වෙන ප්‍රධාන පෙලේ දුම්රිය ස්ථානයක් බවට පත්ව තිබෙනවා. මගීන්ගේ පහසුව සඳහා ආපන ශාලා දෙකක් මෙහි පවත්වාගෙන යනවා. ඉන් එකක් 4වැනි හා 5වැනි වේදිකා අතර පිහිටා ඇති අතර අනෙක් ආපන ශාලාව ඇත්තේ දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලේ පළමු මහලේය. ඒ පළමුවැනි වේදිකාවේ සිට අනෙක් වේදිකාවන්ට මාරු වීමට දුම්රිය මාර්ගයට ඉහලින් නිමවා ඇති පදික මාරුවේය. මෙහි පළමු හා දෙවන වේදිකා දෙකටම පොදුවේ ඇත්තේ එකම දුම්රිය මාර්ගයක් බැවින් දෙවෙනි වේදිකාවට පැමිණෙන දුම්රියක් ගැන නිවේදනයක් සිදු වන්නේ නැත. එම වේදිකා දෙකටම පොදු මාර්ගයට දුම්රියක් පැමිණෙන අවස්ථාවේ එය නිවේදනය කරන්නේ පළමු වේදිකාවට පැමිණෙන දුම්රිය ලෙසයි.
මෙහි සාමාන්‍යෙයෙන් පළමු හා තුන්වන වේදිකා වලින් කොළඹ දෙසට ධාවනය වන පහළ මාර්ගයේ දුම්රිය ධාවනය වන අතර හතර වේදිකාවෙන් ප්‍රධාන මාර්ගයේ ඉහළ දුම්රියන්ද, පස්වැනි වේදිකාවෙන් උතුරු මාර්ගයේ ඉහළ දුම්රියන්ද ධාවනය වේ. කාර්ය බහුල අවස්ථා වලදී හා නඩත්තු කටයුතු සිදු කෙරෙන අවස්තා වලදී මෙය තරමක් වෙනස් වේ.

දුම්රිය ස්ථානය ඉදිරිපිටම මහජන බැංකුවට හා කොමර්ෂල් බැංකුවට අයත් ATM යන්ත්‍ර දෙකක් ද මගීන්ගේ පහසුව වෙනුවෙන් ඉදිකොට තියනවා.
දුම්රිය ස්ථානය ඉදිරිපසින් ප්‍රවේශ පත්‍ර කවුඵ පිහිටලා තියන අතර එහි නගරාන්තර දුම්රිය, රාත්‍රී තැපැල් දුම්රිය ආදී දුර ගමන් සේවා දුම්රියන් වලට අදාල ප්‍රවේශ පත්‍ර කලින් වෙන් කරවා ගැනීමටද පහසුකම් සහිතයි. ඒ අවට ඉතා පැහැදිලිව දුම්රිය කාල සටහන ප්‍රදර්ශනය කරලා තියනවා. ඒ එක්කම විවිධ ගමනාන්ත වලට ප්‍රවේශ පත්‍ර වලට අදාල ගාස්තුද ප්‍රදර්ශනය වෙනවා.

දුම්රිය ස්ථානය ආරම්භ වූ 1866 නොවැම්බර් 01 වැනිදා පටන් පොල්ගහවෙල ලෙස පැවති මෙහි නාමය 2017 පෙබරවාරි මාසයේදී පොල්ගහවෙල හන්දිය ලෙසට වෙනස් කෙරුණා.

උදෑසන හා සවස් කාලයේ කාර්යයාලීය දුම්රිය ඇතුඵ අනෙකුත් දුම්රිය ගණනාවක් නිසා කාර්ය බහුල වෙන මෙම දුම්රිය ස්ථානය බොහොමයක් දුම්රියන් වලට ගමනාරම්භයක් මෙන්ම ගමනාන්තයක්ද වෙනවා. මෙහි සිට මහනුවර, කොළඹ කොටුව, පානදුර, ගල්කිස්ස ආදී ගමනාන්ත වලට දුම්රිය කිහිපයක් ධාවනය වන අතර මහව සංධිය දක්වා රේල් බස් රථයක්ද ධාවනය කෙරේ.

පොල්ගහවෙල නගර මධ්‍යයේ සිට කෑගල්ල මාර්ගයේ මීටර 500ක් පමණ පැමිණ දුම්රිය ස්ථානයට ළගා විය හැකි අතර 0372243271 දුරකතන අංකය ඔස්සේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය හා පහසුවෙන් සම්බන්ධ විය හැක.

Wordpress Social Share Plugin powered by Ultimatelysocial
error: Content is protected !!