එදා හෙනරත්ගොඩ වූ “ගම්පහ”

කොළඹ කොටුව සිට ප්‍රධාන මාර්ගය ඔස්සේ ඉදිරියට යනකොට අපිට හම්බෙන 15වෙනි දුම්රිය ස්ථානය තමයි ගම්පහ. කොළඹ ඉඳලා කිලෝ මීටර 28.40ක් දුරිනුත් තියෙන මේ ස්ටේෂන් එක මුහුදු මට්ටමේ ඉඳලා මීටර 10.97ක උසින් තමයි පිහිටලා තියෙන්නේ. ගම්පහ දුම්රිය ස්ථානය පහළින් යාගොඩ උප දුම්රිය ස්ථානයටත් ඉහළින් දාරළුව උප දුම්රිය ස්ථානයටත් මැදිව පිහිටා ඇත. ගම්පහ නගර මධ්‍යයේ පිහිටලා තියෙන මේ දුම්රිය ස්ථානය දෙපසින්ම බස් නැවතුම්පල දෙකක් තිබෙන අතර ඉතා පහසුවෙන් මේවා අතර එහා මෙහා යාමට හැකියාව ඇත.

ලංකාවේ දුම්රිය සේවයේ ආරම්භය සනිටුහන් කරමින් 1864.12.27 වැනිදා කොළඹ ඉඳලා අඹේපුස්සට ලංකාවේ පලවෙනි කෝච්චිය යනකොට ලංකාවේ තිබුන ස්ටේෂන් පහෙන් එකක් තමයි මේ. හැබැයි ඒ කාලේ මේ ස්ටේෂන් එක නම් කරලා තිබුනේ “හෙනරත්ගොඩ” කියලා. පස්සෙ 1926 කාලයේ දුම්රිය මාර්ග ද්විත්ව මාර්ග විදියට වෙනස් වෙනකොට මෙතන අලුත් දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලක් ඉදිවෙන අතරම නමත් මාරු වෙනවා අද වෙනකොට අපිට හුරු පුරුදු “ගම්පහ” කියන නමට.

1864 ඉදිවුන ඒ පැරණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල අදටත් දකින්නට තියනවා ගම්පහ දුම්රිය ස්ථානයේ කොළඹ පැත්තට වෙන්න කෙලවරේ.

දුම්රිය සේවය ආරම්භයේ ඉඳලම පවතින මේ දුම්රිය ස්ථානය අද වෙනකොට වැඩිම ආදායමක් ලබන දුම්රිය ස්ථාන ලැයිස්තුව අතර ඉහලින්ම ඉන්න දුම්රිය ස්ථානයක් බවට පත්වෙලා තියෙනවා. උදේ සවස දෙකේදීම කාර්යයාල වේලාවන්ට අධික මගී තදබදයක් පවතින ඉතාම කාර්ය බහුල දුම්රිය ස්ථානයක් තමයි ගම්පහ.

දුම්රිය ස්ථානය වේදිකා තුනකින් සමන්විත වෙන අතර පළමු වේදිකාව සාමාන්‍යෙයන් පහළ මාර්ගයේ දුම්රිය සඳහාත් දෙවන වේදිකාව ඉහළ මාර්ගයේ දුම්රිය සඳහාත් වෙන් වී ඇති අතර තුන්වන වේදිකාව දුම්රිය හුවමාරුවක් , එකිනෙක පසුකර යාමක් වගේ අවස්ථාවකදී භාවිතයට ගන්නවා. කාර්ය බහුල වේලාවන් වලදී මෙන්ම නඩත්තු කටයුතු පවතින විට මෙය තරමක් දුරට වෙනස් වෙනවා.

වේදිකා අතර මාරු වීමට මගී පාලම් දෙකක් ඇති අතර දාරළුව අන්තයේ ඇති මගී පාලමට වඩා යාගොඩ අන්තයේ ඇති මගී පාලම ප්‍රමාණයෙන් විශාලය. දුම්රිය වේදිකා තුනටම මෙන්ම දුම්රිය ස්ථානය දෙපසින්ම දුම්රිය ස්ථානයෙන් පිටවීමටද මෙමගින් ඉඩ සලසා ඇත. දුම්රියෙන් බැස බස් රථ වලට යන මගීන් හට එය ඉතා පහසුවකි.

දුම්රිය ස්ථානය ඉදිරිපිටම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට (NTB) හා සම්පත් බැංකුවට අයත් ATM යන්ත්‍රය බැගින්ද මගීන්ගේ පහසුව වෙනුවෙන් පිහිටා ඇත.

දුම්රිය ස්ථානයේ ඉදිරිපසින් පමණක් ප්‍රවේශපත්‍ර කවුලු ඇති අතර විවිධාකාරයෙන් වෙනස් වන සේවාවන් සඳහා ප්‍රවේශපත්‍ර කවුලු 9ක් නිමවා ඇත. නමුත් මේ වන විට එම 9ම භාවිතා නොවේ. දුර ගමන් සේවා සහ නගරාන්තර සේවා සදහා ප්‍රවේශපත්‍ර කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම්ද මෙහි සලසා දී ඇත. ප්‍රවේශපත්‍ර රැගත් පසු දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට ඇතුල් විය හැකි අතර ඒ ආසන්නයේ දුම්රිය ස්ථානයට අදාළ සම්පූර්ණ කාලසටහනද , මීළඟට පැමිණීමට නියමිත ඉහළ හා පහළ දුම්රියන්ද පැහැදිලිව ප්‍රදර්ශනය කර ඇත.

ඉතා සීමිත දුම්රියන් කිහිපයක් හැරුණු කොට මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය – කන්කසන්තුරේ, තලෙයිමන්නාරම් තොට, මහනුවර – මාතලේ, බදුල්ල, ගාල්ල – මාතර වැනි රට පුරා විහිදුණු විවිධ ගමනාන්ත කරා ධාවනය වන දුර ගමන් සේවා සීඝ්‍රගාමී දුම්රියන් හා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් මෙන්ම ගල්කිස්ස, පානදුර, කොළඹ කොටුව, මීරිගම, පොල්ගහවෙල, රඹුක්කන, කුරුණෑගල, මහව ආදී ගමනාන්ත කරා ධාවනය වන කාර්යයාල දුම්රියන්ද මෙම දුම්රිය ස්ථානයේ නවත්වමින් ධාවනය කරයි.

ගම්පහ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය සමඟ 0332222271 දුරකතන අංකය ඔස්සේ ඉතා පහසුවෙන් සම්බන්ධ විය හැක.

Wordpress Social Share Plugin powered by Ultimatelysocial
error: Content is protected !!