මහව හන්දිය බලා ගනේවත්තට ධාවනය වේ

2017.05.06. සෙනසුරාදා – ප.ව. 6.05 (කොළඹ කොටුව දුම්රිය ස්ථානය)

දෙවැනි වේදිකාවේ නවතා ඇති දුම්රිය පස්වරු 6.10ට කුරුණෑගල හා මහව සංධිය බලා ධාවනය වේ. දුම්රිය නවත්වන්නේ මරදාන, දෙමටගොඩ, කැලණිය, රාගම, ගනේමුල්ල, ගම්පහ, වේයන්ගොඩ, පල්ලෙවෙල, මීරිගම, විල්වත්ත, බෝතලේ, අඹේපුස්ස, අලව්ව, පොල්ගහවෙල. පොල්ගහවෙල සිට කුරුණෑගල සහ මහව සංධිය දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.

නිවේදනය එසේ වුවත් මෙම දුම්රිය ධාවනය වන්නේ ගනේවත්ත දුම්රිය ස්ථානයට පමණක් බවත් එහිදී මහව සංධිය දක්වා ගමන් කිරීමට කුඩා දුම්රිය(බේබි ට්‍රේන්)ට මාරු විය යුතු බවත් හොඳාකාරව දත් පළපුරුදු මගීන් මහව සංධිය දක්වා ප්‍රවේශ පත්‍ර අතැතිව මෙම දුම්රියට ගොඩ විය. මමද ඒ අතර විය.

මරදාන දුම්රිය ස්ථානයේදීද නිවේදනය කෙරුණේ දුම්රිය මහව සංධිය දක්වා ධාවනය වේ යනුවෙනි.
දෙමටගොඩදී නිවේදනය වූයේ දුම්රිය ගනේවත්ත බලා ධාවනය බවයි.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී නිවේදනය කෙරුණේ දුම්රිය ගනේවත්ත බලා ධාවනය වන බවත් මහව සංධිය දක්වා ගමන් ගන්නා මගීන් එහිදී වෙනත් දුම්රියකට මාරු විය යුතු බවත්ය.

මෙලෙස විවිධ දුම්රිය ස්ථාන වලදී විවිධාකාර වූ නිවේදන මෙම දුම්රිය පලපුරුදු මගීන්ට ගැටලුවක් නොවූවත් ගැටලුකාරී තත්ත්ව වලට පත් වන මගීන්ද සිටින්නට ඇත.
මේ සියල්ල මධ්‍යයේ සෑම දුම්රිය ස්ථානයකින්ම පාහේ මෙම දුම්රියට අදාළව මහව සංධිය දක්වා ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරිණි. දුම්රියද නිසොල්මනේ ඉදිරියට ඇදෙන්නට විය.

S10 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලයක් ධාවනය වූ අතර මා රැදී සිටියේ එහි පසුපස අන්තයේ සිට 3 වැනි මැදිරියේය. මුත්තෙට්ටුගල උප දුම්රිය ස්ථානය පසුකර ගෙන ඉදිරියට යන විට මමද හැකිතාක් දුම්රියේ ඉදිරියට පැමිණ වැල්ලව දුම්රිය ස්ථානයේදී දුම්රිය නැවත්වූ පසු ඉදිරිපස බලවේග කට්ටලයට නැගගෙන එහි 3 වැනි මැදිරිය දක්වා ගියෙමි. ඒ ගනේවත්ත දුම්රිය ස්ථානයේදී වේදිකාවට පිටින් දෙවන මාර්ගයේ නවත්වා තිබෙන කුඩා දුම්රියට මාරු වීමටය.

දුම්රිය ගනේවත්ත දුම්රිය ස්ථානයේ නැවතින. නමුත් අපව රැගෙන යාමට නියමිතව තිබූ කුඩා දුම්රිය එහි නොවීය. කුඩා දුම්රියට මාරු වීමට බලා සිටි මගීන් 40-50 පමණ දුම්රිය ස්ථානාධිපති කාර්යයාලය ඉදිරිපිට කලබල කරන්නට විය. ඇති වූ තත්ත්වය නිසා අසරණ වූ දුම්රිය ස්ථානාධිපති තුමා පාලක මැදිරිය අමතන්නට විය. එයින් ලැබුණු උපදෙස වූයේ අදාළ මගීන්ට(අපට) තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රියෙන් ගමන් ගන්නා ලෙසය. මඩකලපුව බලා ධාවනය වන මීනගයා දුම්රිය මෙහි නැවැත්වීමට දුම්රිය ස්ථානාධිපතිතුමා විසින් පාලක මැදිරියෙන් ඉල්ලා සිටියද ඔවුන්ගෙන් එයට අවසර නොලැබුණි.


බොහෝ මගීන් කලබලකාරී අයුරින් හැසිරුනද ස්ථානාධිපතිතුමාගේ මෙන්ම සුළු මගීන් පිරිසකගේ ඉවසිලිවන්ත ක්‍රියා කලාපය හේතුවෙන් තත්ත්වය ගැටුමක් දක්වා දුර දිග නොගොස් පාලනය විය. මගීන්ගෙන් අයෙක් 119 අමතා කරන ලද පැමිණිල්ලකට අනුව සුළු වේලාවකට පසු පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද දුම්රිය ස්ථානයට පැමිණියේය.

පස්වරු 8.50ට ගනේවත්ත දුම්රිය ස්ථානයෙන් බැසගත් මම ඇතුළු මගී පිරිස මෙහි නොනවත්වා ධාවනය කෙරුණු මීනගයා දුම්රිය දෙස බලා සුසුම් හෙලමින් රාත්‍රී 10.10 ට තලෙයිමන්නාරම් දුම්රිය පැමිණෙන තෙක් බලා සිටියේ වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් මෙහි නොවීම නිසාය.
(කුරුණෑගලදී මේ බව දැනුම් දුන්නේ නම් මගීන් බොහෝ දෙනෙකුට බස් රථ වලින් ගමන් කිරීමට හැකිව තිබිණි.)

ස්ථානාධිපතිතුමාගේ මැදිහත් වීම මත පාලක මැදිරිය හරහා, තලෙයිමන්නාරම් දුම්රිය අද දිනයේ හිරියාල සහ තිඹිරියාගෙදර යන උප දුම්රිය ස්ථානයන්ගේද නවත්වා ධාවනය කිරීමට නියාමකවරුන්ට හා රියැදුරු මහතාට උපදෙස් ලබා දීමක් සිදු කෙරිණි.

තලෙයිමන්නාරම් දුම්රිය පැමිණි විගස එයට නැගගත් මගීන් සැනසුම් සුසුම් හෙලන්නට විය. මිනිත්තු 10කට වඩා දුම්රිය ධාවනය නොවීය. එක්වරම දුම්රිය නතර විය. මිනිත්තු 15-20ක් පමණ කාලයක් එසේ නවතා තිබෙන්නට ඇත. 

‘‘ඉන්ටසිටියට මනුස්සයෙක් යට වෙලා‘‘යි මගීන් කෑගසන්නට විය. වහා දුම්රියෙන් බැස ගත් මම පසුපසට දිව ගියෙමි. අනතුරට පත් වූවෙකු එහි සිටි අතර ඔහුගේ එක් පාදයක් වෙන්වී ගොසිනි. හිසද තුවාල වී තිබිණි. පිරිස පවසන පරිදි ඔහු අනතුරට ලක් වූයේ මීනගයා දුම්රියට නම් ඔහු ඒ වනවිට පැයකට ආසන්න කාලයක් එතැනමය.

එම ප්‍රමාදයෙන්ද පසුව රාත්‍රී 11.10 පමණ වන විට මහව සංධිය දුම්රිය ස්ථානයෙන් බැසගත් මම නිවස කරා ගමන් කලේ, කුඩා දුම්රිය බලාපොරොත්තුවෙන් සිටි ඇදගල, පෝරපොල, පෝරපොල හන්දිය, වලස්වැව ආදී දුම්රිය නැවතුම්පොළවල්වලින් බැස නිවෙස් වලට ගමන් ගන්නා මගීන් ගැන සිතමින්ය. මෙම තලෙයිමන්නාරම් දුම්රිය එම දුම්රිය නැවතුම්පොළවල්වල නොනවත්වා ධාවනය වන හෙයින් එම මගීන් හිරියාල, නාගොල්ලාගම, තිඹිරියාගෙදර යන දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන වලින් බැස දුම්රිය මග ඔස්සේම අඳුරේම පයින් ගමන් කරන්නට ඇත. මෙම ප්‍රදේශ වන අලින්ගේ රජ දහනක් වන බවද නොරහසකි.

මමද දුම්රිය ලෝලියෙක්මි. දුම්රියට මෙන්ම දුම්රිය සේවයට හදවතින්ම ඇළුම් කරන්නෙක්මි. හැකි සෑම විටම දුම්රියෙන් ගමන් කරන්නෙක්මි.
එහෙත් මෙවන් දෑ අනුමත කළ නොහැක.
දුම්රිය පාලක මැදිරිය හා දුම්රිය ස්ථාන අතර පවතින අන්තර් සම්බන්ධතාවයේ තරම මෙයින් වටහා ගත හැක.
මෙම සටහන අවසන් කරන විටත් මට ගැටළු කිහිපයක් ඇත.

කුඩා දුම්රිය අවලංගු කර ඇති බව ප්‍රධාන පාලක මැදිරිය නොදන්නේද? නැතිනම් ඒ බව මගීන්ට දැනුම් නොදී සිටියාද?

ඒ බව දැන සිටියේ නම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කලේ මන්ද? අනෙක් දුම්රිය ස්ථානයන්ට මේ බව දැනුම් දීමක් සිදු වී නැතිද?

සාමාන්‍යයෙන් කුඩා දුම්රිය ගමනාරම්භ කරන කුරුණෑගල දුම්රිය ස්ථානයේ ක්‍රියා කලාපය.

අනතුරට ලක් වූ පුද්ගලයා අනතුරට ලක් වූයේ මීනගයා දුම්රියට නම්, එම දුම්රියේ රියැදුරු මහතා මෙම සිදුවීම නොදැක්කාද? නැතිනම් නොසලකා හැරියාද? (අනතුර සිදු වූයේ තලෙයිමන්නාරම් දුම්රියට නම් මෙම ගැටලුව අදාළ නැත)

දුම්රිය බලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා මෙසේ අසරණ භාවයට පත්වන මගීන්ට ලැබෙන සහනය කුමක්ද?


Wordpress Social Share Plugin powered by Ultimatelysocial
error: Content is protected !!