මහව – මීගමුව ගාස්තු වෙනස

තියෙන කෝච්චි පිස්සුවෙ වැඩි කමටම කොහෙ ගියත් කෝච්චියෙ යන පුරුද්දක් මට තියනවා. බස් එකේ ලේසියෙන් ඉක්මණට යන්න පුළුවන් ගමනක් වුනත් කෝච්චියේ යන අමුතුම පුරුද්දකුත් මගෙ තියනවා.
මේ කියන්න යන්නේ පොඩි කතාවක්. හැබැයි ලොකු ප්‍රශ්නයක් තියනවා මේ කතාවේ.
2017.05.09 වෙනිදා තමයි මේ සිද්ධිය වුනේ. එදා උදෙන්ම මහව ස්ටේෂන් එකට ආවේ බස් එකේ ලේසියෙන්ම යන්න පුළුවන්කම තියෙද්දි ආසාවට කෝච්චියෙන් මීගමුවට යන්න බලාගෙන.

ස්ටේෂන් එකෙන් මීගමුව කියලා ටිකට් ඉල්ලුවාම මට හම්බුනේ බුක් ටිකට් එකක්. (අර ප්‍රින්ටඩ් ටිකට් නැති වෙලාවට අතින් ලියලා පොතකින් කඩලා දෙන කොලයක් වගේ ටිකට් එක) ටිකට් එකේ ගාන වුනේ රුපියල් 120ක්. උදේ 4.45ට මහවින් කෝච්චියට නැගලා ඒක ගම්පහට පස්සෙ නවත්වන්නේ දෙමටගොඩ හින්දා ගම්පහ බැහැලා පානදුර ස්ලෝ එකක නැගලා රාගමට ගිහින් එතනත් ටික වෙලාවක් ඉඳලා කොටුවෙන් 7.45 එන පුත්තලම කෝච්චියට නැගලා හෙමින් හෙමින් මීගමුවට ගිහින් බහිනකොට උදේ 9ත් පහුවෙලා.

ඒ පරක්කුව තියෙද්දිත් දඟලලා දඟලලා කොහොම හරි ආපු වැඩ ටික ඉවර කරගෙන හවස් වෙලා ආපහු මීගමුව ස්ටේෂන් එකට ගියා මහව ටිකට් එකක් අරන් කෝච්චියට නගින්න හිතාගෙන. එතනත් මහවට ප්‍රින්ටඩ් ටිකට් තිබුනේ නෑ. අර බුක් ටිකට් එකක්ම ලියලා දුන්නා. ලස්සන වැඩේ කියන්නේ ඒකෙ ගාන රුපියල් 125යි.
රුපියල් 5 එච්චර ලොකු ප්‍රශ්නයක් නොවුනත් මෙහෙම දෙයක් වෙන්න බැරි හින්දා ඒක ගැන අහන්න කියලා ආපහු හැරුණත් ඒ එක්කම කෝච්චිය ආව හින්දා ඒ අදහසත් අතෑරලා දැම්මා.

දඩි බිඩි ගාලා ආපු කෝච්චියේ නැගලා ඇවිත් මහව කෝච්චිය අල්ලගෙන පාඩුවෙ මහවට ගියා. හැබැයි මේ විදියට එකම ස්ටේෂන් දෙකක් අතරේ ගාස්තුව වෙනස් වුනේ කොහොමද කියන ප්‍රශ්නෙ මට ඉතුරු වුනා.


Wordpress Social Share Plugin powered by Ultimatelysocial
error: Content is protected !!