ඉන්දියාවෙන් ආ තට්ටයා – S13

2018-2019 කාලයේදී ලංකාවේ බලවේග කට්ටල බලඇණියට එකතු වුන මේ S13 අසල්වැසි ඉන්දියාවේ Integral Coach Factory(ICF) කියන සමාගමේ නිෂ්පාදනයක්. 2017 අවුරුද්දෙදි කරපු ඉල්ලීමකට අනුව නිපදවූ මේ අයගෙන් පළවෙනි සෙට් එක 2018 දෙසැම්බර් මාසෙ ලංකාවට එනවා.

මේ එක සෙට් එකක් තියෙන්නේ ද්විත්ව බලවේග කට්ටලයක් විදියටයි. මේ එක කට්ටලයක,
එන්ජින් මැදිරි 02ක්
තුන්වෙනි පංතියේ ආසන 60ක් සහිත එන්ජිම රහිත එලවුම් මැදිරි 02ක්
ආසන 52ක් සහිත වායු සමනය කරන ලද පලමු පන්තියේ මැදිරි 02ක්
ආසන 64ක් සහිත දෙවන පන්තියේ මැදිරි 02ක්
ආසන 94ක් තියෙන තුන්වෙනි පංතියේ මැදිරි 05ක්
අඩංගු වෙනවා.

Bo-Bo ආකාරයේ Axle Arrangement එකක් සහිතව නිපදවෙන මේ දුම්රිය කට්ටලයේ බඳ නිමවා තියෙන්නේ මළ නොකන වානේ විශේෂයකින්. ඒ එක්කම මල බැදීම වළක්වන තීන්ත විශේෂයකින් මේ දුම්රිය කට්ටල වර්ණ ගන්වලා තියෙන්නේ විශේෂයෙන්ම මුහුදු බඩ මාර්ගයේ ධාවනය ගැන සලකා බලලයි. මේ බලවේග කට්ටලයේ එක් එන්ජිමක් සතුව අශ්ව බල 1800ක ජවයක් තියෙන අතරම පැයට කිලෝ මීටර 120ක් දක්වා උපරිම වේගයක් ලඟා කර ගැනීමේ හැකියාව තියනවා. ඒ වගේම මේකෙ තියන විශේෂ Air suspension පද්ධතිය නිසා ගැස්සීම් අවම කරගත්ත ධාවනයක යෙදෙන්නත් හැකියාවක් මෙයාට තියනවා. ඒ එක්කම පැයට කිලෝමීටර 80ක විතර වේගයකින් ධාවනය වෙන වෙලාවක තප්පර 20ක් වගේ කාලයකින් දුම්රිය නවතා ගත හැකි මට්ටමේ හදිසි තිරිංග පද්ධතියකුත් මේ S13 කට්ටල වලට එකතු කරලා තියනවා.


මගීන්ගේ පහසුව වෙනුවෙන් මේ මේ දේවලුත් මේ බලවේග කට්ටල වල අඩංගු වෙනවා.

  • GPS පදනම් කරගත්ත තොරතුරු පෙන්වන LCD තිරයක් මෙහි මැදිරි වල සවිි කරල තියනවා. ඒ මගින් ගමන් කරන වේගය, පසුකරන ප්‍රදේශය, ඊළඟට නවතින දුම්රිය ස්ථානය වගේ බොහොමයක් තොරතුරු වගේම අවවාදාත්මක නිවේදනද මේ හරහා මගීන්ට ලබා දෙනවා.
  • නවීන පන්නයේ Air assisted flushing පද්ධතියක් සහිත වැසිකිලිද මෙම දුම්රියේ අඩංගු වෙනවා.
  • පළමු පන්තියේ මැදිරි වල ස්වයංක්‍රීය වීදුරු දොරවල් යොදල තියනවා.
  • පළමු පන්තියේ ආසනයකට බැගින් වෙන් වුන USB Charging port එකක් වගේම  3.5mm headphone jack port එකකුත් මගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් යොදා තියෙන අතර එහි ශබ්දය පාලනය කිරීමටද හැකියාවක් ලබා දී තියෙනවා.
  • අංශක 360ක් දක්වාම කරකැවිය හැකි ආසන වලින් පළමු පන්තියේ මැදිරි සමන්විත වෙන නිසා තම තමන්ට අවශ්‍යතාවය පරිදි එය සීරු මාරු කිරීමට පහසුකම්ද මෙහි පවතිනවා.

ලංකාවේ දුම්රිය එන්ජින් අංකනය අනුව මේ අයට 959 සිට 970 දක්වා අංක හිමිවෙන අතර 2018 දෙසැම්බර් මාසයේ මුලින්ම ලංකාවට එන්නේ 959 සහ 960 කියන දෙන්නාගෙන් සමන්විත වුන දුම්රිය කට්ටලයක්.  ඒ විදියට පටන් අරන් කට්ටලයෙන් කට්ටලය ලංකාවට ගෙන්වූ අතර 969 හා 970 කියන දෙන්නා සහිතව පැමිණි අවසන් S13 කට්ටලය කොළඹ වරායේදී ගොඩ බාන්නේ 2019.10.17 වෙනිදා.


S13 කට්ටලයක් මුලින්ම යොදා ගන්නේ උත්තර දේවී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියටයි. ඒ  2019 ජනවාරි මාසේ කන්කසන්තුරේ දක්වා සිදු කෙරුණු පරීක්ෂණ ධාවනයකින් පස්සේ ඒ වෙනතුරු ධාවනය වුනු  S11 කට්ටලය වෙනුවටයි.  ඒ 2019.01.27 වැනිදා ඉඳලා. ඒ මුල්ම ගමනට බලය සැපයූවේ 959 හා 960 කියන එන්ජින් ද්විත්වයෙන්.

ඉන් පස්සෙ ඉතිරි බලවේග කට්ටල දිවයිනට පැමිණීමත් එක්ක තවත් දුම්රිය ගමන් වාර කිහිපයක් වෙනුවෙන් මේ S13 කට්ටල යොදා ගන්නවා.

  • මෙතෙක් කල් S12 බලවේග කට්ටලයක් ධාවනය වුනු ගාලු කුමාරි දුම්රියට මේ S13 කට්ටල යොදා ගන්නේ 2019.08.01 වැනිිදා ඉඳලා. ඒ මංගල ගමනට එකතු වෙන්නෙත් 959 හා 960 කියන දෙන්නා.
  • කොළඹ කොටුව සහ වව්නියාව අතර ධාවනය වුනු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කන්කසන්තුරය දක්වා දීර්ඝ කරලා ශ්‍රී දේවී කියන නමිින් ගමන් ඇරඹුවේ 2019.09.05 වෙනිදා. ඒකට දායක වෙන්නේ 967 සහ 968 කියන දෙන්නා.
  • ඒ එක්කම පුලතිසි නමින් අලුත් නගරාන්තර දුම්රියක් එකතු වෙනවා 2019.09.11 වෙනිදා. ඒ කොළඹ කොටුව සහ පොළොන්නරුව අතර ධාවනය වෙන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් විදියට. ඒ මංගල ගමනට දායක වෙන්නෙත් 960 එන්ජිමයි.
  • ඊටත් පස්සේ 2019.09.24 වෙනිදා ඉඳලා තවත් අලුත් දුම්රියක් ධාවනයට එකතු වෙනවා. ඒ මරදාන සහ බෙලිඅත්ත අතර ධාවනය වෙන දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියයි. එම මංගල ගමනට 968 සිය දායකත්වය දෙනවා.

තියුණු වංගු සහිත උඩරට මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ ධාවනය නොකෙරෙන මේ දුම්රිය කට්ටලයන්ට අනෙක් සිියලුම මාර්ග වල කිසිම ගැටළුවකින් තොරව ධාවනය කිරීමට හැකියාව තියනවා.

Wordpress Social Share Plugin powered by Ultimatelysocial
error: Content is protected !!