උඩරටට අහිමි වුනු M4

ලංකාවේ දුම්රිය ඉතිහාසය පුරාවටම ගෙන්වලා තියන එන්ජින් අතරින් වඩාත්ම සාර්ථක වුනු එන්ජින් අතරට එකතු වෙන තවත් එක් එන්ජින් කාණ්ඩයක් තමයි මේ M4 කියන්නේ. කැනඩාවේ Montreal Locomotive Works (MLW) සමාගමේ නිෂ්පාදනයක් වුනු මේ M4 යාළුවෝ ලංකාවේ දුම්රිය සේවයට එකතු වෙන්නේ 1975 අවුරුද්දෙදි. මීට කලින් කැනඩාවෙන් M2 ගේනකොට ඒවට කැනඩාවේ නගර වල නම් දාලා තිබුණත් මේ වතාවේ M4 වලට පටබැඳුනේ ලංකාවටම සුවිශේෂ වූ නම් ටිකක්.

එන්ජින් අංක 743 ඉඳලා 756 වෙනකල් අදටත් ඉතාමත් හොඳින් ධාවන තත්ත්වයේ ඉන්න මෙයාලට නම් දුන්නේ මේ විදියටයි.

  • 743 – මඩු
  • 744 – සීගිරි
  • 745 – රුවන්වැලි
  • 746 – නමුණුකුල
  • 747 – කැලණි
  • 748 – වළවේ
  • 749 – දුන්හිඳ
  • 750 – ඉසුරුමුණි
  • 751 – දියලුම
  • 752 – පේදුරුතුඩුව
  • 753 – සමනල
  • 754 – මැණික්
  • 755 – මහවැලි
  • 756 – ලක්ෂපාන

බරින් ටොන් 97ක් වෙන මේ M4 ගෙ මූලික ඩිසයින් එකේදි අශ්ව බල 2000ක ජවයක් වගේම පැයට කිලෝමීටර 104ක උපරිම වේගයක් ලබා ගැනීමට හැකියාව තිබුණත් ඒක ලංකාවට එනකොට අශ්ව බල 1750ක ජවයකට සහ පැයට කිලෝ මීටර 65ක උපරිම වේගයකට සීමා කරලා තියනවා. ALCO Bombardier 251-C3 වර්ගයේ ප්‍රයිම් මූවරයකින් සමන්විත මේ M4 ට තියෙන්නේ සිලින්ඩර 12ක ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වෙන 4-Stroke V12 diesel මාදිලියේ එන්ජිමක්.

1975 අගෝස්තු මාසෙ දවසක මේ M4 පළමු වතාවට උඩරට මාර්ගයේ ට්‍රයල් රන් එකක් යනවා. ඒ ගමනට සහභාගී වෙන්නේ 744 සීගිරි (විය යුතුයි) එන්ජිම, කිංස්ලි කුඩහෙට්ටි කියන එන්ජින් රියැදුරු මහත්මයා සමඟ. ට්‍රයල් රන් එක බදුල්ල දක්වාම ගිහින් නැවතුනු මේ M4 සගයා ඊට පහුවදා හවසම ආපහු කොළඹ ආවා. එතනින් පස්සෙ උඩරට මැණිකේ, පොඩි මැණිකේ, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය වගේ ගමන් වාර වලට M4 දායකත්වය ලබා දෙනවා. ඒ වෙනුවෙන්ම 753, 754, 755, 756 කියන හතරදෙනාට ඩයිනමික් තිරිංග පද්ධති පවා එකතු කරන්නට බලධාරීන් පියවර ගත්තා. ඒ එන්ජින් බැලූ බැල්මෙන්ම අඳුනාගන්න පුළුවන් වෙන විදියට බෆර් ප්ලේට් එකේ කහ පාට ඉරක් අළුතෙන් බාහිර වර්ණ ගැන්වීමට එකතු කලා.

ඒක එහෙම වෙන අතරවාරයේ 752 පේදුරුතුඩුව එන්ජිමට වෙනමම රාජකාරියක් පැවරෙනවා 1980 දශකයේදී. ඒ 80 දශකයේදී පටන් ගත්ත නගරාන්තර දුම්රිය වැඩ පිළිවෙලක් යටතේ පටන් ගත්ත කොළඹ කොටුව – කන්කසන්තුරේ නගරාන්තර දුම්රිය ධාවනය කරන්න. 1983 මාර්තු 07 වෙනිදා තමයි මෙයා මේ කෝච්චියෙ වැඩ පටන් ගන්නේ. නගරාන්තර දුම්රිය වලට ආවේණික වර්ණ ගැන්වීම යටතේ මෙයාවත් වර්ණ ගන්වලා මේ වැඩේ පටන් ගත්තත් මේ දුම්රිය වැඩි කාලයක් ධාවනය වුනේ නෑ. ඉතින් මේ 752ට ආපහු පරණ පාටම ගාගෙන අනිත් සගයො අතරට ආපහු යන්න වුනා.

ඒත් ටික කාලයක් මේ විදියට උඩරට මාර්ගයේ තියන ලොකු වංගු එක්ක මේ M4 එන්ජිමේ බොගිය නොගැලපෙන බව තේරුම් ගියා. මේ බොගියේ දිග , ඒ කියන්නේ වීල් සෙට් එකේ ඉස්සරහ ඇක්සල් එකයි පිටිපස්සෙ ඇක්සල් එකයි අතර දුර අඩි 11යි අඟල් 2ක් වෙනකොට උඩරට මාර්ගයට සුදුසු බොගියෙ සයි්ස් එක අඩි 10යි අඟල් 7ක් විදියටයි නම් කරලා තියෙන්නේ. මේ බොගිය දිග වැඩි හින්දා මේවා යන්න යන්න දුම්රිය මාර්ගය ඩැමේජ් වෙනවා කියල තේරුම් ගත්ත දුම්රිය බලධාරීන් ඒ වංගු සහිත තැන් වල දුම්රිය පාරේ පළල අඟල් 3/4 කින් පමණ වැඩි කිරීමකට පිඹුරු පත් සකස් කලත් එවැන්නක් සිදු කලහොත් ඒ වන විට උඩරට මාර්ගයේ ධාවනය වෙමින් පැවතුණු එන්ජින් වලට ගැටළුවක් ඇති වන නිසා පසුව එම අදහස අත්හැරියා.

තවත් එවැනි තාක්ෂණික ගැටළු කිහිපයක් සහිතව උඩරට මාර්ගයේ ධාවනය වුන M4 ගේ උඩරට සේවය මුළුමනින්ම පාහේ අවසන් කරන්න වෙන්නේ 1979 අවුරුද්දෙදි උඩරට මාර්ගයේ ධාවනයට සුදුසු M5 එන්ජින් ලංකාවට පැමිණීමත් එක්කයි. එයින් වසර කිහිපයට පසුව 1996 කාලයේදී අසල්වැසි ඉන්දියාවෙ ඉඳලා M8 ලංකාවට ආව කාලේ M4 – 749 දුන්හිඳ එන්ජිම යොදාගෙන ආපහු සැරයක් බදුල්ල දක්වා පරීක්ෂණ චාරිකාවක් යවන්නේ බොගියේ ඇක්සල් වල කරන ලද වෙනස්කමකුත් එක්කයි. ඒත් එතනින් පස්සේ M4 එකක් බදුල්ලට ධාවනය වීමක් ගැන තොරතුරක් මට හොයාගන්න බැරිවුනා. හැබැයි 2000න් පස්සෙත් ඉඳ හිට M4 මහනුවර සහ නාවලපිටිය දක්වා ගමන් කරලා තියනවා බොහොම කලාතුරකින්.

යූටියුබ් එකේ එහෙ මෙහෙ දුව දුව ඉන්න ගමන් හම්බුනා පරණ ෆිල්ම් එකක කෑල්ලක්. ඒකෙ තියනවා M4 එක්කෙනෙක් පට්ටිපොළට කෝච්චියක් අරන් එන සීන් එකක්. කලු සුදු චිත්‍රපටියක්. ඒකෙ නම ඉන්දුට මල් මිටක් කියලා පස්සෙ දැනගත්තා.

මේ විදියට උඩරට මාර්ගයෙන් ඉවත් වුනාට පස්සේ ඒවාට සවිකරපු ඩයිනමික් තරංග පද්ධති පසුකාලීනව ගලවලා ඉවත් කරනවා. අද වෙනකොටත් කිසිම ගැටලුවක් නැතුව මහනුවර සහ නාවලපිටිය දක්වා ගමන් කරන්නට හැකියාව තියන මේ අය මාතලේ මාර්ගය හා කැලණි වැලි මාර්ගය හැරුණු කොට අනෙක් සියලුම මාර්ග වල තම අණසක පතුරවනවා.

Wordpress Social Share Plugin powered by Ultimatelysocial
error: Content is protected !!