දිය ඇල්ලක් අහිමි කරවූ 5A

කොළඹ කොටුව – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බිම්ගෙවල් අංකනය කිරීම අනුව අවසාන‍ බිම්ගෙයට හිමිවෙලා තියෙන අංකය 43 වුවත් මෙම මාර්ග කොටසේ බිම්ගෙවල් 46ක් පවතින බව ඔබත් මමත් දන්නා කරුණකි. ඒ 1A,5A හා 9A යනුවෙන්ද අංකනය වූ බිම්ගෙවල් තුනක් තිබීම නිසායි. ඒවා පිටුපස සැඟවුණු කතාන්දර ඉතාම පුදුම සහගත වගේම සුන්දරයි. මේ කඩිගමුව හා ඉහල කෝට්ටේ දුම්රිය ස්ථාන දෙක අතර තියන 5A පසුපස කතාවයි.

මීන්ගල්ල දුර්ගය

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ඡායාරූපයකි. අයිතිය මුල් හිමිකරු සතුවේ.

කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මග ඉදිකිරීමේදී එහි වඩාත්ම දුෂ්කර කොටසට එලඹෙන්නේ රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පසුවය. මෙතෙක් තැනිතලා බිමක් ඔස්සේ ඉදිවුනු මාර්ගය මෙතැන් සිට සීඝ්‍ර නැග්මක් ඔස්සේ ඉදිවීමට නියමිත වුනා. යටිවල්දෙණිය දුම්රිය නැවතුම පසුකරගෙන ඉදිරියට යන විට හමුවන හේනෙපොල බිංගෙය ආසන්නයේදී දුම්රිය මාර්ගය අලගල්ල කන්ද තරණය කිරීමට ආරම්භ කරනවා. මෙතැන් පටන් සැතපුම් තුනයි කාලක් පමණ දුර ගෙවාගෙන එන විට දුම්රිය මාර්ගය තවත් අඩි දෙසීයක පමණ උසක් ලබාගන්නවා. ඒ හා සමගම සුදු ජාතික ඉංජිනේරුවරුන්ට හමුවන්නේ විශාල පර්වතයක් සමඟ ඒ මතින් පහලට වැටෙන දිය ඇල්ලක්. දිය ඇල්ල තරණය කරමින් දුම්රිය මගේ ඉදිරියට යාමට ඒ පර්වතය හරහා බිම්ගෙයක් තැනිය යුතු වුනත් මෙම පර්වතය අඩි දහසකටත් වඩා දුරට විහිදෙන නිසා එය එතරම් ලේසි කටයුත්තක් නොවන බව අවබෝධ කරගත් ඉංජිනේරුවරුන්ගේ තීරණය වුනේ කන්දේ බෑවුම පැත්තෙන් මෙම පර්වතය දිගේ කට්ටයක් කපා ඒ හරහා දුම්රිය මාර්ගය තැනීමටයි. එම කාර්යය සඳහා ඔවුන්ට තිබූ එකම බාධාව මීයන් ඇල්ල නම් වූ එම දිය ඇල්ලයි.

ඒ අනුුව පර්වතය මුදුනට යන ඔවුන්ගේ මුල්ම කාර්යය වුනේ දිය ඇල්ල දෙපලු කිරීමයි. දිය ඇල්ලේ ස්වභාවික පිහිටීම වෙනස් කරමින් එය එකිනෙකට ඈතින් පිහිටන තැන් දෙකක් හරහා පහලට ගලා යාමට පර්වතයේ ඇතුලට සිරස් අතටද කට්ට දෙකක් කැපුවේ දුම්රිය මාර්ගය ඉදිවීමට නියමිත කොටසට දිය ඇල්ලෙන් සිදුවන බාධාව වළක්වා ගැනීමටයි. ඒ අනුව දකුණු පසින් අඩි හත්සීයක පමණ ප්‍රපාතයක් ඇති ගැට්ට ඔස්සේ දුම්රිය මග ඉදි වෙද්දී වම් පසින් පිහිටි ප්‍රපාතයේ තැන් දෙකක ඇති සිරස් කැපුම් දෙකක් ඔස්සේ පහලට එන දිය ඇල්ල දුම්රිය මග පසුකරන්නේ එම තැන් දෙකෙන් ඉදි වූ කුඩා පාලම් දෙකක් යටිනි. මීයන් ඇල්ල යන්න උච්චාරණය කිරීමේ අපහසුව නිසාම සුදු ජාතිකයින් මෙය හැඳින්වූයේ මීන්ගල්ල දුර්ගය යන නමිනි.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ඡායාරූපයකි. අයිතිය මුල් හිමිකරු සතුවේ.

ආච්චිට හාල් ගැරීම

සොබාදහමට එරෙහිව යමින් සිදු කල ඒ ඉදිකිරීම එතරම්ම සාර්ථක නොවූයේ දැඩි වර්ෂා කාලයේදී දිය ඇල්ලේ ජල කඳ පහලට ගෙන ඒමට පර්වතයේ කැපූ සිරස් කැපුම් ප්‍රමාණවත් නොවීම නිසායි. කොළඹ දෙස සිට යන විට හමුවන පළමු සිරස් කැපුම ඔස්සේ ගලා බසින මියන් ඇල්ල දුම්රිය මාර්ගයටද හානි කරන්නට වුනා.

මෙම දුර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ හාල් ගෝනි ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් හෝ දුම්රියක හාල් ගෝනි ප්‍රවාහනය කල ගැල් කිහිපයක් මෙම ප්‍රපාතයෙන් පහලට පෙරලී ඇතැයි ජනප්‍රවාදයේ කියවෙනවා. ඒවයෙ තිබුනු හාල් ගෝනි දිය ඇල්ලෙන් පහලට ගිහින් තලගොල්ල ඔය දිගේ ගලාගෙන ගිය බවත් ඒ අවට ගම්මාන වල වයස්ගත ගැහැණුන් ඒවා ඒකතු කරගෙන වේලලා ගරලා අරගෙන තියනවා කියලත් ජනප්‍රවාද වල කියවෙනවා. ආච්චිට හාල් ගැරීම කියන කතාව හැදිලා තියෙන්නේ මේකෙන් කියලා තමයි මට දැනගන්න හම්බුනේ.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ඡායාරූපයකි. අයිතිය මුල් හිමිකරු සතුවේ.

ඇත්තම අනතුරක් ???

කලින් කිව්ව අනතුර ගැන දුම්රිය දෙපාර්තමේන්තුවේ පැරණි ලේඛන වල කිසිම සඳහනක් නැති වීමත්, එවැන්නක් ගැන ජනප්‍රවාදයක් තිබීමත් නිසා එම අනතුර ඇත්තටම සිදු වූ දෙයක්ද නැද්ද යන්න අදටත් ගැටලුවක්ව පවතිනවා.

කොහොම වුනත් 1898 අවුරුද්දේ එංගලන්තයේ පලවුන The Engineer කියන සඟරාවේ එක කලාපයක මේ මීන්ගල්ල දුර්ගයේ වුන අනතුරක් ගැන ලිපියක් පල වෙනවා. ඉන් කියවෙන්නේ 1897 සැප්තැම්බර් 28 වෙනිදා රෑ කොළඹින් ගමන් ආරම්භ කරපු කෝච්චියක් මේ මීන්ගල්ල දුර්ගයේදී රේල් පාරට වැටිලා තිබුණ ගල් ගොඩක හැප්පිලා අනතුරක් සිදු වී ඇති බවයි. පැවති දැඩි මීදුම් තත්ත්වය නිසා දුම්රියේ රියැදුරු මහතා එම බාධකය දැක නොමැති බවකුත් කියැවෙනවා.

අලුතින් බිංගෙයක්

වසර කිහිපයක් පුරාවටම මෙම දුර්ග මග ඔස්සේ දුම්රිය ගමන් කලත් එකල දුම්රිය බලධාරීන්ට මෙම දුර්ග මාර්ගය ඉතා අවධානම්  සහගත දුම්රිය ධාවනයට නුසුදුසු මාර්ගයක් බව ටිකෙන් ටික අවබෝධ වන්නට විය. ඒ අනුව ඔවුන් නැවතත් මෙම පර්වතය හරහා බිම්ගෙයක් තැනීම පිළිබඳව සිතන්නට විය. ඒ අනුව 1905 – 1907 අතර කාලයේ මෙම බිංගෙය තැනීම සිදු කරලා තියනවා. මේ කාලය වන විට උඩරට මාර්ගය බණ්ඩාරවෙල ප්‍රදේශය දක්වාම දීර්ඝ කොට තිබූ අතර මෙම බිංගෙයට අංක 6 යොදා අංකනය කිරීමට නම් බණ්ඩාරවෙල දක්වා සම්පූර්ණ දුරෙහිම බිංගෙවල් අලුතින් අංකනය කිරීමට සිදු වෙන නිසා මෙයට 5A යන අංකය ලබා දුනි. මෙම දුම්රිය මග සෑදීමේ වැඩ කටයුතු සඳහා ඉන්දීය කම්කරුවන් ගෙන්වා තිබුණත් පසු කාලීනව ඉදි කෙරුණු මෙම බිංගෙය සඳහා දායක වෙලා තියෙන්නේ ලංකාවේ කම්කරුවන් බව ඉතිහාස කතා කියනවා. බිංගෙය තැනීමේදී කණින ලද ගල් කැබලි එලියට දැමීමටත්, ඇතුලට පිරිසිදු වාතය ලබා ගැනීමටත් මෙම බිංගෙය තුල සිට දිය ඇල්ල කඩා හැලුණු පර්වතය මතුපිට දක්වා කුහරයක් සකස් කොට තිබී ඇත. එයද අද වන විට දක්නට ඇති අතරම බිංගෙය තුලින් ගමන් කරන්නෙකුට ඒ තුලින් පිටත සිට පැමිණෙන සීතල වායු ධාරාවන්ගේ පහස විඳීමටද හැකියාව ඇත. අඩි 1364ක දිගින් යුතු මෙම බිංගෙය බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිවෙන අවස්ථාව දක්වා දිගින් දෙවැනි වූයේ හැටන් සිංගිමලේ බිංගෙයට පමණයි. මෙම බිංගෙය හරහා දැනට දුම්රිය ධාවනය සිදු වන අතර එයට පිටින් පැවති මාර්ගයේ පාලම් වල කොටස් අදටද දක්නට ඇත.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ඡායාරූපයකි. අයිතිය මුල් හිමිකරු සතුවේ.

ඉතිහාසය පුරාවටම වාර ගණනාවක්ම නාය යෑම් වලට අසු වී ඇති මෙම මීන්ගල්ල දුර්ගයේ අනතුරුදායක බව හඳුනාගෙන එයට විකල්ප මාර්ගයක් ලෙස ඉදිවුන මෙම බිංගෙය හරහා දුම්රිය ධාවනය අදටත් ආරක්ෂිත වුනත් ලංකාවේ උසම දියඇලි නාමාවලියට එක් වන්නට තිබූ දිය ඇල්ලක් රටට අහිමි වීම කණගාටුවට කරුණකි.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ඡායාරූපයකි. අයිතිය මුල් හිමිකරු සතුවේ.

Wordpress Social Share Plugin powered by Ultimatelysocial
error: Content is protected !!