කෝච්චි පාරේ සංඥා පුවරු – 01

කෝච්චියේ එහෙ මෙහෙ යනකොට, එහෙමත් නැත්තම් කොහේ හරි ට්‍රිප් එකක් ගියපු වෙලාවක රේල් පාරක හරි ඒ කිට්ටුවක හරි ගියා නම් පාර දෙපැත්තෙ තියෙන එක එක විදියේ සංඥා පුවරු ඕනෙ තරම් හැමෝම වගේ දැකල තියනවනෙ. ඒත් ඒවා මොනවද කියලනම් සමහර විට හැමෝටම අයිඩියා එකක් නැති වෙන්න පුලුවන්. ඉතින් ඒ වගේ සංඥා ගැනත් ලිපි පෙලක් දාන්න හිතුනා නොදන්න අය වෙනුවෙන් දැනගන්නත්, දන්න අය වෙනුවෙන් මේවායෙ අඩුපාඩු තියනවනං අපිව නිවැරදි කරන්නත්. අද මේ විදියට ඒ කියපු ලිපි පෙලේ පළවෙනි එක දාන්නේ සංඥා පුවරු 05ක් ගැන පොඩි විස්තරයක් කියන්නයි.



1. නලාව හැඬවිය යුතු ස්ථානය

සමචතුරස්‍රාකාර පුවරුවක විකර්ණයක් දිගේ සුදු පාටින් තීරුවක් වර්ණ ගන්වලා ඒකෙන් දෙකට බෙදෙන ත්‍රිකෝණාකාර කොටස් දෙක රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇත. මෙහි සුදු පැහැති තීරුව පොලවට සමාන්තරව පිහිටන විදියට සිරස් කණුවක උඩින් රඳවලා තමයි මේ සංඥාව සකස් කරලා තියෙන්නේ. මේ සංඥාවෙන් දුම්රිය රියැදුරුට අඟවන්නේ නලාව ශබ්ද කල යුතු කලාපයක් ඉදිරියෙන් තියෙන බවයි. දුම්රිය හරස් මාර්ග ආසන්න‍යේ මේ වගේ පුවරු දකින්න පුලුවන්. සමහර අවස්ථාවලදී දුම්රි මාර්ගයේ සේවකයින් වැඩ කරන අවස්ථාවන්වලදී මේ වගේ පුවරු තාවකාලිකව සවි කරලත් තියනවා. මේ වගේ පුවරුවක් දැක්ක ගමන් ඒ ගැන අවධානයෙන් ඉන්න රියැදුරු මහතුන් නලා හඬ නංවමින් දුම්රියක් එන බවට දැනුම් දෙනවා. පළපුරුදු රියැදුරු මහත්වරුන්ට නම් මේ බෝඩ් එක ඕනෙත් නැතුව ඇති දැකල දැකලම පුරුදු වෙලා තියන හින්දා.


2. දුම්රිය මාර්ගයේ ආනතිය

මේ සංඥාව නම් දැකපු නැති කෙනෙක් නැතුව ඇති. රේල් පාර දිගේ යනකොට කිසිම පිළිවෙලක් නැතුව තැනින් තැනට මේ කණුව තියනවා දකින සමහරු මේ මොකද්ද කියල කල්පනා කරනවත් ඇති, මිටි කණුවක් උඩ හරස් අතට ඇදට හයිකරපු සුදු පාට පටියක් වගේ එකක් එක්ක ඒකෙ දෙපැත්තෙ කළු පාටින් ඉලක්කම් වගයක් ලියලා තියනවා දකිනකොට. මේවා තියෙන්නේ දුම්රිය මාර්ගයේ ආනතිය එහෙමත් නැත්තම් බෑවුම වෙනස් වෙන තැන්වල. හොඳට බැලුවොත් පෙනෙයි සමහර ඒවායෙ හරස් පුවරුව කණුවෙන් එක පැත්තකට පහලටත් අනෙක් පැත්ත ඉහලටත් විදියට. තවත් තැනකදී දෙපැත්තටම පහලට වගේ වෙනස් විදියට වගේම සමහර විටක පොළවට සමාන්තරවත් තියන විදියට. ඒ හරස් පුවරුව ඉස්සිලා හරි පාත් වෙලා තියෙන පැත්තට තමයි දුම්රිය මාර්ගයේත් ආනතිය තියෙන්නේ. පොලොවට සමාන්තරව තියනවා කියන්නේ ඒ කොටසේ මාර්ගය සම මට්ටමේ තියනවා කියන එක. මේ වගේ වෙලාවට හරස් පුවරුවේ ඉලක්කමක් වෙනුවට ඉංග්‍රීසි එල් අකුර (L) ලියලා තියනවා. මේ පුවරුවේ තියන ඉලක්කම් වලින් කියන්නේ මාර්ගයේ බෑවුම කොච්චරක්ද කියන එක.
අපි දීලා තියෙන පින්තූරෙ ගත්තොත් එක පැත්තක 44ත් අනික් පැත්තෙ 66ත් ලියල තියනවා. ඒ පුවරුව ඇල වෙලා තියන පැත්තට තමයි රේල් පාරෙ ආනතිය තියෙන්නේ. 44 කියලා කියන්නේ දුම්රිය මාර්ගය අඩි 44ක දුරක් යනකොට ඉහලට හෝ පහලට අඩියක් (අඩි කියල කිව්වේ ලේසියට. අනුපාතයක් හින්දා ඒකකය මොකද්ද කියන එක අදාල නෑ) යනවා කියන එක. මේ පුවරුව ලඟදී වෙලා තියෙන්නේ දුම්රිය මාර්ගයේ තියන බෑවුම 1:44 ක ඉඳලා 1:66 දක්වා වෙනස් වෙන එක.
දුම්රිය ධාවනය වන වේගය පාලනය කර ගැනීමට මේ පුවරුව දුම්රිය රියැදුරන්ට පහසුවක් වෙනවා.


3. සැමෆෝ සංඥා ඉදිරියෙනි

සැමෆෝ සිග්නල් දකින්න නම් කොලඹින් ඈතට යන්න වෙනවා ටිකක්. ස්ටේෂන් කිට්ටුව මේවා තියනවත් කට්ටිය ඕන තරම් දැකලා ඇති. උඩරට මාර්ගයේ එහෙම යනකොට සමහර වෙලාවට එක්කෝ කැලයක් අස්සේ එහෙමත් නැත්තං පාරෙන් ටිකක් ඈතට වෙන්න පොඩි කඳු ගැටයක් වගේ එකක් උඩ ඔය වගේ හිතාගන්න බැරි තැන් වල මේ සිග්නල් කණු (දන්න සිංහලෙන්ම කියනවානං) තියනවා. ඉතින් කෝච්චි පිස්සුව ඔළුවට ගහපු මුල් කාලෙදි මටත් හෙන පස්නයක් වෙලා තිබ්බෙ කොහොමද මේවා තියන තැන දැන ගන්නෙ, ඕවා මග ඇරිලා යන්නෙ නැද්ද කියන එක. හැබැයි පස්සෙ තමයි දැනගත්තේ සැමෆෝ සිග්නල් ඉස්සරහා තියනවා කියල කියන සංඥාවක් ඊට කලින් දීලා තියනවා කියලා. මේ කියන්නේ ඒ සංඥාව ගැන. මේක නම් පාරත් එක්කම වගේ තියන හින්දා ඇස් ඇරගෙන ගියොත් නම් මිස් වෙයි කියල හිතන්න අමාරුයි.
අඩි 6කුත් අඟල් 6ක් උස සුදු පාට ගාපු රේල් පීල්ලක් කණුවක් විදියට හිටවලා ඒකෙ උඩින් අඩි 2ක් දිග තවත් පීලි කොටස් දෙකක් රතු පාට කරලා හරස් අතට හයි කරලා තියෙන්නේ අඟල් 6ක පරතරයකින්.
මේ සංඥාව දකින දුම්රිය කාර්ය මණ්ඩලය හොඳටම දන්නවා ඊළඟ මීටර 400ක විතර දුරකදී සැමෆෝ සංඥාවක් තියනවා කියලා. සැමෆෝ එක තියෙන්නේ පාරෙ වම් පැත්තෙ නම් මේ සංඥා අවධාන කණුව පිහිටන්නෙත් පාරෙ වම් පැත්තෙන්මයි.


4. බිංගෙවල් අංකනය

කෝච්චියේ නුවරට නැත්තම් බදුල්ලට හරි ඒ පැත්තට හරි ගිහින් තියනවා නම් මේක නම් අනිවාරෙන්ම දැකල තියෙන්න ඕනේ. කොහොමත් ඔලුව එලියට දාගෙනනෙ යන්නේ. මේ බෝඩ් එක සමහර වෙලාවට බිංගෙට ඉස්සරහින් කණුවක ගහලා තියෙනවා. තවත් සමහර වෙලාවට බිගෙයි බිත්තියේ ගහල තියනවා. ඒ වගේම බිගෙයි දෙපැත්තෙන්ම මේ පුවරුව ගහල තියනවා. දෙපැත්තෙන්ම කිව්වේ බිංගෙ ඉහල සහ පහල කියන අන්ත දෙකේ. මේ පුවරුවේ සුදු පසුබිමේ කලු අකුරින් තමයි ලියල තියන දේවල් ලිියල තියෙන්නේ. මේ බෝඩ් එකේ මැදින් ලොකුවට ලියල තියෙන්නේ ටනල් නම්බර් එක. ඊට උඩින් පොඩියට දාලා තියෙන්නේ ඒ බිංගෙ පටන් ගන්න තැනට අදාල මාර්ගය පටන් ගන්න තැන ඉඳල තියන දුර සැතපුම් දම්වැල් සහ අඩි වලින්. ඒ එක්කම ටනල් නම්බර් එකට යටින් තියෙන්නේ බිංගෙ ඉවර වෙන තැනට දුර. මේ මිණුම් ක්‍රමය ගැන කියනවනං දම්වැල් එකක් කියන්නේ අඩි 66ක දුරක්. සැතපුමකට දම්වැල් 80ක් තියනවා.


5. කිලෝ මීටර් කණු

සාමාන්‍ය බස් යන පාරෙ වගේම රේල් පාරෙත් කිලෝ මීටර් කණු තියනවා හැමෝම වගේ දැකල ඇතිනේ. ඉස්සර සැතපුම් කණු තිබුණත් දැන් නම් වැඩියෙන් භාවිතා වෙන්නේ මේ කිලෝ මීටර් කණු. මේ කණු ගොඩක් දුරට කහ පාටින් තමයි තියෙන්නේ. සුදු පාටින් මේ කණුව තියන අවස්ථාත් අපි දැකල තියනවා සමහර තැන්වල. අකුරු සහ ඉලක්කම් තියෙන්නේ කලු පාටින්. මේ දුර මැනීමට ආරම්භක ස්ථානය විදියට සලකලා තියෙන්නේ මරදාන ස්ටේෂන් එකේ 5,6 කියන වේදිකා දෙකේ හරි මැද. ඒත් සැතපුම් කණු වලදි සියලුම මාර්ග වල ආරම්භක ස්ථානය එකම තැනක් නෙවෙයි. ඉතින් මේ දුරවල් සසඳා බැලීමක් නම් කරන්න බෑ.

තවත් සංඥා වර්ග ගොඩක් තියනවා. ඒ ගැන විස්තර ටිකක් වෙන ආටිකල් එකකින් අරන් එන්නම්.

Wordpress Social Share Plugin powered by Ultimatelysocial
error: Content is protected !!