දුම්රියක බර හිසින් දරන “ගාඩ් මහත්තයා”

ලංකාවේ දුම්රිය ගමන් වල ඉතිහාසය 1864 තරම් ඈතට යනකොට ඒ තරම්ම ඉතිහාසයක් තියන කෙනෙක් තමයි මේ “දුම්රිය නියාමකවරයා“ නොහොත් අපි කවුරුත් දන්න “ගාඩ් මහත්තයා“. දුම්රිය ගමන අවසාන වෙන මොහොත වෙනකල් ඒ මුලු දුම්රියේම වගකීම තමන්ගේ ඔලුවේ තියාගෙන නියාමක මැදිරියට වෙලා තනියම පැය ගාණක් නොනිදා කරන වෙහෙසකාරී සේවයක් මේ ගාඩ් මහත්තයා ඉටු කරනවා.

උපුටා ගැනීම : ගාඩ් මහත්තයා – “Railway Guard”. ෆේස්බුක් පිටුවෙන්

සුදු අධිරාජ්‍යවාදීන් අතින් ඇරඹුන මේ දුම්රිය සේවයේ එකල සේවය කලේද ඉංග්‍රීසීන්මය. 1868 අවුරුද්ද වෙනකොට මහනුවර සහ කොළඹ අතර ක්‍රමවත්ව මගී ප්‍රවාහනයයි භාණ්ඩ ප්‍රවාහනයයි දෙකම ආරම්භ වෙලා තිබුණා. ඒ වෙනකොට දුම්රිය සේවය පාලනය කෙරුණු “ලංකාණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුව“ යටතේ දුම්රිය නියාමකවරු හත් දෙනෙක් සේවය කරලා තියනවා.

  • ජේ.ජෝන්ස්
  • ජේ.ටෙරී
  • ජේ.එච්.ගාලන්ඩ්
  • එච්.රොබින්සන්
  • ජී.හයිඩ්
  • එස්.ස්පෙන්සර්
  • ඩබ්ලිව්.රැන්කින්

ටිකෙන් ටික දුම්රිය සේවය දියුණු වීමත් එක්කම විවිධාකාර වූ වෙනස්කම් සිදු වීමත් එක්ක ටිකෙන් ටික අලුත් නියාමකවරු වරින් වර සේවයට එකතු වෙලා තියනවා වගේම ඒ අයට වරින් වර විවිධ වරප්‍රසාද ලැබීමත් සිදු වුනා.


පැරණි ආකාරයේ හිස්වැසුම් (Pith Hat) සහිතව වයිස්රෝයි දුම්රියේ රාජකාරියේ යෙදෙන නියාමක මහතුන් දෙපලක් විදේශිකයන් පිරිසක් සමඟ

පැරණි ආකාරයේ හිස්වැසුම් සහිතව වයිස්රෝයි දුම්රියේ රාජකාරියේ යෙදෙන නියාමක මහතුන් දෙපලක් විදේශිකයන් පිරිසක් සමඟ
උපුටා ගැනීම : Tripadvisor.com වෙබ් අඩවියෙනි.

වර්ෂ 1901දී ජී.පී.ග්‍රීන් මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරයට පත්වීමත් සමඟ දුම්රිය සේවයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු වුනා. ඒවා අතරට මේ නියාමකවරුන් සම්බන්ධයෙන් සිදු කෙරුණු දේවල් කීපයකුත් තිබුණා.

ඒ අතරින් මූලිකම දෙයක් වුනේ, මේ නියාමක රාජකාරියේ ස්වභාවය අනුව ඔවුන්හට දවසේ පැය 24 පුරාවට ඕනෑම වෙලාවක සේවයට වාර්තා කල යුතු වීම නිසා දුම්රිය ධාවනාගාරයන්ට ආසන්නයෙන් නිල නිවාස ලබා දීම පිළිබඳව සලකා බැලීමයි. ඒ අනුව එම නිල නිවාස පිහිටුවීම වෙනුවෙන් දෙමටගොඩ මවුන්ට් මේරී ඉඩම් අත්පත් කරගැනීම සිදු වෙනවා 1902 අවුරුද්දෙදි. පසු කාලීනව විවිධ ප්‍රදේශ වල ප්‍රධාන දුම්රිය ස්ථාන ආශ්‍රිතව මෙවැනි නිල නිවාස ඉදි වෙනවා.

මවුන්ට් මේරි හි දුම්රිය සේවක නිල නිවාස කිහිපයක්.
උපුටා ගැනීම : Ceylon Then / Sri Lanka Now! ෆේස්බුක් සමූහයෙන්

ඉන් පසුව 1903 වසර වන විට ජී.පී.ග්‍රීන්ගේ ප්‍රතිසංස්කරණ යටතේම දුම්රිය නියාමකවරුන් හට ප්‍රථමාධාර පුහුණුවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙනවා. හදිසි අනතුරකදී තුවාලකරුවන් රෝහල් ගත කිරීම තෙක් ලබා දිය යුතු ප්‍රථමාධාර පිළිබඳ මේ පුහුණුව විශේෂඥ වෛද්‍යවරයකුගේ සහාය ඇතිව ආරම්භ කෙරුණු අතර අද වන විටත් බඳවාගන්නා නියාමකවරුන්ට මෙම පුහුණුව ලබා දෙනවා.

ඉන් පසුව 1923දී ජී.පී.ග්‍රීන්ගේ ධූර කාලය අවසන් වීමත් එක්ක නව දුම්රිය සාමාන්‍යාධිකාරවරයා වන්නේ ටී.ඊ.ඩට්න් මහතාය. ඔහුගේ පාලන සමයේදී නියාමකවරුන් සඳහා සිදු කෙරුණා යැයි සැලකෙන වැදගත්ම දෙයක් වන්නේ 1929දී නියාමකවරුන්ව අක්ෂි පරීක්ෂණයකට යොමු කිරීමේ ක්‍රියාවලියක් ඇරඹීමයි. අද වනවිටත් වසර තුනකට වරක් මේ අක්ෂි පරීක්ෂණය සිදු කෙරෙන බව කියැවේ.

දුම්රිය සේවයේ වර්ධනයක් සමඟම ඇතිවුණ ක්‍රමවත් සන්නිවේදන මාධ්‍යයක අවශ්‍යතාව නිසා මෝස් සංකේත (Morse Code) හරහා සන්නිවේදන කටයුතු සිදු කෙරුණු ටෙලිග්‍රාෆ් (Telegraph) ක්‍රමය 1915දී ඇරඹෙනවා. ඒ අනුව භාවිතයේ පහසුව සඳහා දුම්රිය ස්ථාන, දුම්රිය ගැල් හා මැදිරි, දුම්රිය සේවක තනතුරු ආදී බොහොමයක් දේවල් හඳුන්වා දීමට සංකේත වචන භාවිතා කරන්නට වුනා. අදටත් එම සංකේත වචන දුම්රිය ආශ්‍රිතව බාවිතා වෙනවා. මේ අනුව ප්‍රධාන නියාමක (Head Guard) සඳහා HGD ලෙසත්, උප නියාමක (Under Guard) සඳහා UGD ලෙසත් සංකේත වචන හිමිවෙනවා.

මේ විදියේ ඉතිහාසයක් එක්ක පටන් අරන් අද වෙනකොට දුම්රිය නියාමකවරු 500කට වඩා වැඩි ප්‍රමාණයක් දුම්රිය සේවයත් එක්ක එකතු වෙලා ඉන්නවා. මරදාන දුම්රිය ස්ථානයේ 5 වෙනි වේදිකාවේ තමයි නියාමකවරුන්ගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යයාලය පිහිටලා තියෙන්නේ. මුලු රට පුරාම සිටින දුම්රිය නියාමකවරුන් අධීක්ෂණයට Guard Inspector කෙනෙක්ද මරදාන කාර්යයාලයේ සේවය කරනවා.

දැනට අලුතින් නියාමකවරුන් බඳවා ගැනීමේදී ඉල්ලුම්කරුවන් විසින් මූලික වශයෙන් සපුරාලිය යුතු සුදුසුකමක් වන්නේ අ.පො.ස (උසස් පෙළ) විභාගය ගණිත අංශයෙන් සමත් වී NDES / NDT / HNDE වැනි උසස් ඉංජිනේරු ඩිප්ලෝමාවක් හදාරා තිබීමයි. ඉන් පසුව තරඟ විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුස්සන් බඳවා ගැනීම සිදු කෙරෙයි.

දුම්රිය නියාමක සඳහා බඳවා ගැනීමට අදාලව 2016.04.12 දින නිකුත් කෙරුණු ගැසට් නිවේදනය.
මේ බඳවා ගැනීමේදී අ.පො.ස. (උසස් පෙළ) ගණිත අංශයෙන් සමත් වීම පමණක් සලකා (ඉංජිනේරු ඩිප්ලෝමා නොමැතිව) දුම්රිය නියාමක - පුහුණු ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමක් සිදු වී ඇත.
උපුටා ගැනීම : ගාඩ් මහත්තයා – “Railway Guard”. ෆේස්බුක් පිටුවෙන්

බඳවා ගැනීමෙන් අනතුරුව ආධුනික කාල සීමාවකට යටත් කොට නියාමක රාජකාරි වලට අදාල පුහුණුවක් ලබා දෙන අතර ඒ යටතේ දුම්රිය එන්ජින්, දුම්රිය මැදිරි, සංඥා වර්ග, දුම්රිය මෙහෙයුම් ක්‍රම, පීලි පැනිමක්, දුම්රිය ගැටීමක්, ගින්නක්, හෝ වෙනත් හදිසි අවස්තාවකදී ක්‍රියා කල යුතු ආකාරය ආදී සිය රාජකාරියට අදාල වන්නා වූ සියලුම දේවල් ආවරණය කෙරෙනවා.
ඉතා දුෂ්කර මාර්ගයක් වෙන උඩරට මාර්ගයේ සේවය කිරීම එතරම් ලේසි පහසු නොවන නිසාවෙන්ම අනෙකුත් මාර්ග වල වසර 3ක් රාජකාරි කිරීමෙන් පසුව පමණයි නියාමකවරුන්ව උඩරට මාර්ගයට අනියුක්ත කරන්නේ. එහිදී කඳු බෑවුම් වල තරම වගේම දුම්රියට පැටවී ඇති බර ගැනත් සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ එම කාරණා දුම්රියේ වේගයට සෘජුවම බලපාන නිසායි. අවශ්‍ය විටක තිරිංග යෙදීමේ හැකියාවත් නියාමකවරයාට ඇත.
කාලයක් තිස්සේ අඛණ්ඩව සතුටුදායක ලෙස සේවය කිරීමෙන් පසුව දෙවන ශ්‍රේණියට උසස් වීම් ලැබිය හැකි අතර දෙවන ශ්‍රේණියේ වසර 4ක් සේවය කිරීමෙන් පසු පළමු ශ්‍රේණිය දක්වා උසස් වීමට සුදුසුකම් ලබනවා.

සාමාන්‍යයෙන් දුම්රියක පසුපසින්ම ප්‍රධාන නියාමකවරයාත් දුම්රියේ ඉදිරි කොටසේ උප නියාමකවරයාත් ලෙස නියාමකවරුන් දෙදෙනෙක් කටයුතු කරයි. නමුත් ප්‍රාදේශීයව ධාවනය වෙන සමහර දිගින් අඩු දුම්රියයන් වලදී එක් නියාමකවරයෙක් පමණක් රාජකාරියේ යෙදී සිටියි.

කොළඹට අනියුක්තව සිටින එක් එක් නියාමකවරුන් තම සේවා වාරය අරඹන්නේ මෙන්ම අවසන් කරන්නේද Guard Booking Office හිදීය. ඒ ඒ නියාමකවරුන් සේවා වාර වලට අනියුක්ත කරනු ලබන්නේ Chief incharge of guards booking විසිනි. සේවා වාරයක් ඇරඹීමට පෙර අදාල දුම්රිය පරීක්ෂා කොට එහි මැදිරි වල තිරිංග හොඳින් ඇති බව, මැදිරි වල ඈඳුම් නිසි පරිදි ඇති බව මෙන්ම භාණ්ඩ ප්‍රවාහන මැදිරි ඇත්නම් ඒවායේ ඇති භාණ්ඩ වල ආරක්ෂාව යනාදී දේවල් පිළිබඳව ඔහු සහතික විය යුතුයි. එමෙන්ම බ්‍රේක් වැගනයේ අවශ්‍ය ඖෂධ වර්ග සහිත ප්‍රථමාධාර පෙට්ටියක්ද ඔහු විසින් පවත්වාගත යුතු වෙනවා.

දුම්රියක් පිටත් වීමට සුළු වේලාවකට කලින් දුම්රිය නියාමකවරයා විසින් විසිල් හඬකින් ඒ බව මගීන්ට දැනුම් දෙන අතර, දුම්රිය පිටත් වන මොහොතේදී තවත් විසිල් හඬකින් ඒ බව දුම්රිය මගීන්ටත් , දුම්රිය ස්ථානාධිපතිතුමාටත් දැනුම් දෙනවා. දුම්රිය ගමනේදී ඔහුට පැවරෙන ප්‍රධානතම වගකීමක් වෙනවා දුම්රිය සංඥා පිළිබඳව අවධානයෙන් සිටීම. දුම්රිය රියැදුරුවරයා හට සිදුවන යම් අතපසුවීමකින් සංඥා නොසලකා දුම්රිය ධාවනය වුවහොත් දුම්රිය නවත්වාගැනීමට නියාමක මහතා කටයුතු කල යුතු වෙනවා. ඒ එසේ නැතහොත් ඔහුගේ බාරයේ තිබෙන දුම්රිය අනතුරකට ලක් විය හැකි නිසා. දුම්රිය ගමනේදී දුම්රිය මගින් ප්‍රවාහනය කෙරෙන පාර්සල් සහ තැපැල් මළු පිළිබඳව ඔහු සම්පූර්ණයෙන්ම වගකිව යුතු වෙන අතර අදාල දුම්රිය ස්ථානවලදි ඒවා දුම්රියට බාර ගැනීමත් , දුම්රියෙන් නිදහස් කිරීමත් ඔහු විසින් සිදු කල යුතු වෙනවා. එමෙන්ම එක් එක් දුම්රිය මාර්ගයන් වල එකතු වන මුදල් කොළඹට රැගෙන ඒමේ වගකීමද ඒ ඒ මාර්ගයන්හි ඒ සඳහා නම්කල දුම්රියයන් වල රාජකාරි කරන නියාමක මහතුන් හට පැවරෙනවා. ඒ සඳහා “කෑෂ් බොක්ස්“ නමින් විශේෂ පෙට්ටියක් නියාමක මැදිරියේ ඇති අතර එක් එක් දුම්රිය ස්ථාන වලින් ලැබෙන මුදල් එම පෙට්ටියේ දමාගෙන ආරක්ෂිතව කොළඹට ගෙන ඒමේ වගකීමත් නියාමක මහතා සතු වෙනවා.

Cash Box නමින් හඳුන්වන පෙට්ටිය
උෂාන් කෝදාගොඩ මහතාගේ ඡායාරූපයකි.

දිවා කාලයේදී නියාමක මහතා විසින් රතු සහ කොළ පැහැ කොඩි වැනීමෙන් සංඥා ලබා දෙන අතර අතීතයේදී රාත්‍රී කාලයේදී ඒ වෙනුවෙන් භාවිතා වී ඇත්තේ සංඥා ලාම්පු විශේෂයකි. පසුව 1990 ආසන්න කාලයේදී ඒ වෙනුවට රතු සහ කොල පැහැති විදුලි පන්දම් භාවිතා කිරීම ආරම්භ වී ඇත.

එමෙන්ම ගමන ආරම්භයේ සිට අවසානය දක්වා සියලු විස්තර නියාමක මහතා විසින් “ගාඩ්ගේ දුම්රිය ජර්නලය“ හි සටහන් කිරීමද ඔහු සතු වගකීමකි.

ගාඩ්ගේ දුම්රිය ජර්නලය
උපුටා ගැනීම : LANKA GOVERNMENT RAILWAY MAGAZINE (L.G.R.M) ෆේස්බුක් සමූහයෙනි.

මීට අමතරව දුම්රිය නැවතුම්පොළවල් (Train Halts) වල නවත්වමින් ධාවනය වන ප්‍රාදේශීය දුම්රිය වලට එක් එක් දුම්රිය නැවතුම්පොළවල් වලින් ගොඩවෙන මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමද සිදුවන්නේ දුම්රිය නියාමකවරයා මගිනි. දුම්රිය ගමනේදී යම් අනතුරක් සිදු වූවහොත් තුවාල කරුවන් හෝ මළ සිරුරු දුම්රියේ නියාමක මැදිරියේ රැගෙන ගොස් ඊළඟ දුම්රිය ස්ථානයට බාර දීමත් නියාමක මහතාට පැවරෙන තවත් එක් කාර්යයක්.

මහව – කුරුණෑගල කුඩා දුම්රියේ නියාමක මහතා නිකුත් කරන ප්‍රවේශ පත්‍රයක්
උපුටා ගැනීම : Yakada Yaka – Sri Lanka Railways ෆේස්බුක් සමූහයෙන්

දුම්රිය නියාමකවරයාගේ ඒ බාරදූර රාජකාරිය සහ ඔහු විසින් ඒ ඒ රාජකාරි වල නියැලෙන ආකාරයත් මනාව පැහැදිලි වෙන “නියාමක තේමා ගීතය“ ලෙස නම් කෙරුණු මේ ගීතය අපිට අහම්බෙන් දකින්න ලැබුනේ Youtube හරහා දුම්රිය නියාමක සංගමයේ ඉදිරිපත් කිරීමක් යන ආකාරයෙනි.

දුම්රිය නියාමකවරුන් අතරද වෘත්තීය සමිති ගොඩ නැගී ඇති අතර අද වන විට ඒවාද ක්‍රියාත්මක වන්නේ දේශපාලන අවශ්‍යතා මුල් කරගෙන බව පෙනීයන නිසාවෙන්, එම වෘත්තීය සමිති පිළිබඳව වැඩිදුර විස්තර මෙහි නොලියන්නට අපි තීරණය කලේ, රේල්ලුව වෙබ් අඩවියේ හෝ රේල්ලුව ෆේස්බුක් පිටුවේ දේශපාලනයට ඉඩක් වෙන් කර නොමැති නිසාය.

Preethi Viraj Jayasundara මහතාගේ ඉල්ලීමක් මත ලියැවුණු මෙම ලිපිය ,
සිය රාජකාරිය මැනවින් ඉටු කරන සියලුම දුම්රිය නියාමක මහතුන් හට උපහාරයක් වේවා.


මේ ලිපියේ කිසියම් දෝෂ සහිත තැනක්, අඩුපාඩුවක් තියනවා නම් ඒ ගැන අපිට කියන්න කියලත් ඉල්ලනවා


One thought on “දුම්රියක බර හිසින් දරන “ගාඩ් මහත්තයා”

Comments are closed.

error: Content is protected !!