බණ්ඩාරවෙල ගිමන් හරින 535

G2 කාණ්ඩයට අයිති වෙන මේ 535 ලංකාවට එන්නේ 1951 අවුරුද්දේ අට දෙනෙකුගේ කණ්ඩායමක සාමාජිකයෙක් විදියටයි. දුම්රිය අංගන වල ෂන්ටින් වැඩ පහසු කරගැනීම අරමුණු කරගෙන මේ G2 කාණ්ඩයේ ඩීසල් එන්ජින් අටක් ලංකාවට ගෙන්වන්නේ එංගලන්තයේ ඉඳලයි. අංක 531 ඉඳලා 538 වෙනකල් නම් තියපු මේ අට දෙනා මිළ දී ගන්නේ එංගලන්තයේ නෝර්ත් බ්‍රිටිෂ් කියන සමාගමෙන්. ඒ එකක් රුපියල් 433,868.00 බැගින් වුනු මුදලකට. මේ එන්ජින් සම්පූර්ණයෙන්ම යොදාගෙන තිබුනේ කොළඹ අංගන වල ෂන්ටින් වැඩ වලට සහ කොළඹ වරාය හා කොළොන්නාව දක්වා බඩු දුම්රිය ධාවනය කරන්නයි. ඊට අමතරව තලෙයිමන්නාරම ෂන්ටින් වැඩ වලටත් මෙයාලගෙන් කෙනෙක් කාලයක් යොදවලා තියනවා. 1983 අවුරුද්ද වෙනකොට මේ අට දෙනාගෙන් හය දෙනෙක්ම සේවයෙන් ඉවත් කරන්නට වෙනවා අමතර කොටස් හිඟය සහ තවත් හේතු කීපයක් නිසා. තවත් අවුරුදු දහයක්, ඒ කියන්නේ 1993 අවුරුද්ද වෙනකල් 535 , 536 කියන දෙන්නා රත්මලාන දුම්රිය වැඩපොල ඇතුලේ ෂන්ටින් වැඩ වලට යොදා ගෙන තිබුනා. ඒත් එතනින් පස්සේ අශ්ව බල 480ක ජවයක් තිබුන මේ දෙන්නටත් විශ්‍රාම යන්න සිද්ධ වුනා.

එහෙම විශ්‍රාම ගියපු අට දෙනා අතරින් ආපහු කරළියට එන්න තරම් 535 වාසනාවන්ත වුනා. ඒ ඊට අවුරුදු හතකට විතර පස්සේ. ඒ 2000 අවුරුද්දෙදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පැවැත්වුන ප්‍රදර්ශනයකට ඩීසල් දුම්රිය එන්ජිමක් ලබා දෙන මෙන් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් සිදු කල ඉල්ලීමක ප්‍රතිඵලයක් විදියටයි. රේල් පාර දිගේම පේරාදෙණියට යනකල් ගියපු 535 විශ්ව විද්‍යාල පරිශ්‍රයට ගෙනියන්න ඕනෙ වුන දොඹකර සහ වාහන හොයාගන්න බැරි වුන හින්දා ප්‍රදර්ශනයට නොයා මහනුවර දුම්රිය ධාවනාගාරයට වෙලා ඉන්න මෙයාට සිද්ධ වුනා.

එතනිනුත් අවුරුදු දහයකට විතර පස්සේ 2010 අවුරුද්දෙදි දුම්රියට ආදරය කරන එක්තරා පිරිසක් විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනවා මෙයාව සංරක්ෂණය කරලා සරසවි උයන දුම්රිය ස්ථානයේ ස්ථානගත කරමු කියලා. ඒත් සරසවි උයන භූමියේ මේ වෙනුවෙන් ප්‍රමාණවත් ඉඩක් නොතිබුන හින්දා ඒ අදහස අත්හරින්න වුනා. සංචාරකයන්ගේ ආකර්ෂණය කියන කාරණාවත් මුල්කරගෙන පසුව මෙම දුම්රිය එන්ජිම බණ්ඩාරවෙලට ගෙනියන්න තීරණය වුනා.

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ඉදිරිපිට බදුල්ල කොළඹ මහා මාර්ගයට මායිම්ව තිබුණු බෆර් අන්තයක් සහිත දුම්රිය මාර්ග කොටසේ එම බෆර් අන්තය මේ සඳහා සුදුසුම ස්ථානය විදියටත් තීරණය වෙනවා. ඒ අනුව බණ්ඩාරවෙල මාර්ග අංශයේ කළමණාකරු එම මාර්ග කොටස ඒ වෙනුවෙන් සූදානම් කර දුන් අතර ඒ එක්කම බණ්ඩාරවෙල ගොඩනැගිලි අංශයේ කළමනාකරු ඇතුලු පිරිස මේ සඳහා වේදිකාව සකස් කරනවා. ඒ අතරතුර කාලයේදීම එන්ජිම සංරක්ෂණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ මහනුවර ධාවනාගාරයේ කළමනාකරු යටතේයි. අවසානයේදී විශේෂ දුම්රියකින් මේ එන්ජිම බණ්ඩාරවෙලට දක්වා ගෙනියනු ලැබූ අතර බදුල්ල ධාවනාගාරයේ කාර්ය මණ්ඩලය විසින් මෙම එන්ජිම නිසි පරිදි ස්ථාන ගත කරනු ලැබුවා. මේ සියල්ල අවසානයේ 2011 අගෝස්තු 16 වැනිදා මේ G2 535 මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරුණා.



මෙම ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද අතර ඒවායේ හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ.

Wordpress Social Share Plugin powered by Ultimatelysocial
error: Content is protected !!