කිරිවල්ලාපිටියේ නගරාන්තර අනතුර

රඹුක්කන පහු කරල කෝච්චියේ නුවර පැත්තට ගිය හැම වෙලාවකම වගේ පෙරලුණු නුවර ඉන්ටසිටියේ පෙට්ටි ටික තිබුන තැනට ඇස් හැරවුනේ ඉබේටම වගේ. අද වෙනකොට ඒ ටික එතන නැතත් ඇස් දෙක නම් තාමත් එහෙමයි. ඒ ටික පහු කරල ගොඩගන්දෙණිය වෙල් යාය ලගදි වංගුව හැරෙනවත් එක්කම වගේ 1:155ක්ව තිබුන රේල් පාරේ ආනතිය 1:45 ක් වෙලා කන්ද නගින්න පටන් ගන්නකොට එදා ඉන්ටසිටිය වේගෙන් ඇවිත් වෙලට පෙරලුන විදිය මැවිලා පේනවා.

ඒ 2002 ජනවාරි 13 වෙනිදා. පුරුදු විදියට අංක 1030 දරණ දුම්රිය විදියට මේ නගරාන්තරය උදෙන්ම මහනුවරින් පිටත් වුනේ කොළඹ බලා එන්නයි. ඒ රුමේනියන් මැදිරි කට්ටලයක් අමුණගත්ත, නගරාන්තර තේමාවෙන් වර්ණ ගන්වලා තිබුණ M6-788 එන්ජිමත් එක්කයි. කඩුගන්නාව දුර්ගය හරහා දුම්රිය ධාවනය කරලා ලොකු පළපුරුද්දක් තිබුණ දක්ෂ රියැදුරු මහතෙකු වූ කේ.එල්. රංජිත් මහත්මයා තමයි එදා 788ට පණ දුන්නේ. ඒ දවස තමන්ගේ රාජකාරී ජීවිතයේ අමිහිරිම දවස වෙයි කියල ඔහු හීනෙකින්වත් නොසිතන්නට ඇති.

පුරුදු විදියටම දුම්රිය පේරාදෙණිය, පිලිමතලාව පහු කරගෙන කඩුගන්නාවට ආවා. එතනින් ඇරඹෙන සීඝ්‍ර බෑවුම තමයි මේ ගමනේ අසීරුම කොටස. ඒ අසීරුව දැනෙන්නේ කෝච්චියේ ඉඳගෙන යන මගීන්ට නම් නෙවෙයි. තමන්ගේ පළපුරුද්දත් එක්ක වේගය පාලනය කරගෙන කඩුගන්නාව පහු කරලා දුම්රිය පල්ලම් බස්සන එක රංජිත් රියදුරු මහතාට සාමාන්‍ය දෙයක් වෙලා තිබුණත්, බලන දුම්රිය ස්ථානය පහුවෙලා මාකෙහෙල්වල දුම්රිය නැවතුම්පොල කිට්ටුවට එනකොට දුම්රිය තමන්ගෙ පාලනයෙන් ගිලිහෙනව කියල දැනෙන්න ඇති. ඒ එක්කම අනුමත වේග සීමාවට වඩා වැඩි වේගයකින් තමන්ගෙ පාලනයෙන් ගිලිහුණ දුම්රිය 1:45 වගේ ලොකු බෑවුමක ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය පහුකරනකොට සිය ගණනක් මගී ජීවිත වගේම කෝටි ගාණක රාජ්‍ය දේපල වල වගකීම තමන්ගේ ඔලුව උඩ තිබුණ රංජිත් මහතාගේ මනස ව්‍යාකූල වෙන්නත් ඇති. ඒ අතරතුර වේගය පාලනය කිරීමට ඔහු උපරිම උත්සාහ දරන්නත් ඇති. ටික ටික කෝච්චියේ වේගය අසාමාන්‍ය විදියට වැඩි වෙනවා කියල දැණුන දුම්රිය මගීන්ද නොසන්සුන් වෙන්නට ඇති. ඒත් බලා සිටිනවා හැරෙන්නට කරන්න දෙයක් ඔවුන්ට ඉතිරිව නැත. ඒ සියලු දෙයක්ම නිවැරදිව දන්නේද ඔවුන් පමණකි.

මේ අතරතුරේ රඹුක්කන කිරිවල්ලාපිටිය ගමේ රේල් පාරට නුදුරින් තිබුණ නිවසක මංගල උත්සවයක් සංවිධානය වෙමින් තිබුණා. බොහොම කලබලයෙන් එහෙ මෙහෙ දුවමින් ඒ වැඩකටයුතු වලට සියලු දෙනාම පාහේ මහන්සි වෙන අතරේ ඡායාරූප ශිල්පීන් තම කැමරා ඇතුලු අනෙක් ආම්පන්න මංගල ඡායාරූප ලබාගැනීමට සූදානම් කරමින් හිටියත් මේ කලබල අස්සේ උදේ 7.30 පහුවෙලා විනාඩි කීපයක් ගත වෙනකොට ඔවුන්ට සිද්ධ වුනේ දරුණු ඛේදවාචකයක් ඡායාරූපයට නගන්නයි.

අදහා ගත නොහැකි මට්ටමේ ලොකු ශබ්දයක් සමගම මිනිසුන්ගේ මර විලාපයක් ඇසීමෙන් අන්ද මන්දව ගිය අසල්වාසීන්ට දකින්නට දුම්රිය මාර්ගයේ ඉතිරිව තිබුණේ M6-788 දරණ එන්ජිම පමණයි. ඒ කිරිවල්ලාපිටිය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ. 53 වෙනි සැතපුම් කණුව ආසන්නයේදී සිදු වුනු මේ අනතුරට ලක්වුන දුම්රියේ මැදිරි සියල්ලම තිබුණේ ගොඩගන්දෙණිය වෙල් යායේයි. වෙල් යාය ලේ විලක්ව තිබෙන්නට ඇත. තම ජීවිතයෙන් සමුගත් පිරිස් ඒ ලේ විල මැද නිසොල්මන් වූ අතර, අත් පා කැඩීම් බිදීම් වලට ලක් වූ පිරිස් මෙන්ම තවත් තුවාල කරුවන් බොහොමයක් විලාප නගන්නටද ඇත. හැකි ඉක්මණින් ක්‍රියාත්මක වුන ප්‍රදේශ වාසීන් තුවාලකරුවන් රඹුක්කන රෝහල කරා ගෙන ගිය අතර එහිදී බරපතල තුවාල ලැබූවන් පේරාදෙණිය, මහනුවර සහ කොළඹ රෝහල් කරා මාරු කර යැවුනා. රෝහල් ගත කිරීම් අතරේ පවා තවත් කිහිප දෙනෙක් තමන්ගේ අවසන් හුස්ම පිට කලා. ඒ අනුව 15ක් පමණ මගී ජීවිත අහිමි වුන මේ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාවද 200කට අධිකයි. තුවාල කරුවන් අතර රියදුරු රංජිත් මහතා, දුම්රිය නියාමක මහතා සහ ප්‍රවේශපත් පරීක්ෂක මහතුන් තුන් දෙනෙක්ද විය. එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයින් තිදෙනෙක් හා එක් ඉන්දියානු ජාතිකයෙක්ද තුවාල ලබා තිබුණා.

මේ අනතුර සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් පැවත්වූ අතර දුම්රිය රියැදුරු මහතාගේ ප්‍රකාශයක සටහන්ව තිබුණේ මාකෙහෙල්වල දුම්රිය නැවතුම්පොල ආසන්නයේදී dynamic brake අක්‍රීය වීම නිසා දුම්රිය පාලනයකින් තොරව අධික වේගයකින් පැමිණීම නිසා අනතුර සිදු වූ බවයි. නමුත් එම පරීක්ෂණ අවසානයේදී කියැවුනේ තිරිංග යෙදීමේදී රියැදුරු මහතා අතින් සිදුව ඇති අතපසු වීමක් නිසා මෙය සිදුව ඇති බවකි. ඒ අනුව dynamic brake යෙදිය යුතු නිවැරදි අවස්ථාවේදී එය සිදු කර නොමැති බවකුත් පසුව වේගය පාලනය කිරීමට උත්සාහ කිරීමේදී තිරිංග පද්ධතිය දැඩි වශයෙන් හානි වී එන්ජිමේ රෝද හිර වීම නිසා මෙම අනතුර සිදුව ඇති බවකුත් ඒ අනුව හෙලිදරව් විය.

ඒ සමඟම රියදුරු රංජිත් මහතා එම සේවයෙන් ඉවත් කොට නාවලපිටිය දුම්රිය කාර්යයාලයට අනියුක්තව කටයුතු කරලා තියනවා. පසු කාලීනව නැවතත් ඔහුට විවෘත මාර්ගයේ පමණක් දුම්රිය ධාවනයට අවස්තාව ලබා දුන් බවක්ද කියවෙන අතරම පසු කාලීනව 788 එන්ජිමේ තිබූ දෝෂයක් නිසා dynamic brake නිසි ලෙස ක්‍රියාත්මක නොවුනු බවක්ද කියැවෙන්නට වුනා. අදටත් මේ පිළිබඳ විවිධ මතිමතාන්තර පවතින අතර සැබෑවටම සිදු වූ දන්නේ රියදුරු රංජිත් මහතාම පමණක් විය හැකි නමුත් අද ඒ මහතා ජීවතුන් අතර නැත. වකුගඩු ආශ්‍රිත රෝගාබාධයකින් පෙලුනු ඒ මහතා අකාලයේ මිය යාමට, විවිධ පාර්ශව වෙතින් එල්ල වුනු චෝදනා නිසා ඇතිවූ මානසික පීඩනයද හේතු වන්නට ඇතැයි විවිධ පිරිස් මත පල කරනවා.

2018 වසරේ අග බාගයේ සිළුමිණ පුවත්පතේ ලිපියකින් මේ පිලිබඳ විවිධ පුද්ගලයින් දැක්වූ අදහස් මෙසේ පල කොට තිබුණා.

“පල්ලම තියෙන නිසා එන්ජිමේ රෝද වැඩ නොකළත් පහළට තල්ලු වෙලා ආවා. රෝදත්, පීලිත් අතර ඇතිල්ලීමෙන් රෝදවල යකඩ උණු වෙලා ජෙල් එකක් වගේ වෙලා තිබිලා තියෙන්නේ. මේ නිසා මඟ දිගට උණු වුණු යකඩ කෑලි පවා වැටි වැටී ඇවිත් තියෙන්නේ. කන්සලගමුවේ පල්ලම ඉවර වෙනකොට එන්ජිම තල්ලු කරන්න පෙට්ටිවල බලය මදි. රෝද වැඩ නෑනේ. ඒ නිසා එන්ජිම හිර වුණා. පෙට්ටිවලට ආපු වේගය දරාගන්න බැරිව එක උඩ එක ගිහින් පෙරළුණා. මුලින්ම තිරිංග වැඩ නොකරපු වෙලාවේ යළි යළිත් තිරිංග යෙදීමට උත්සාහ නොකර හිටියනම් රෝද හිරවීම සිදු නොවන නිසා කෝච්චිය රඹුක්කනට නිරුපද්‍රිතව එන්න තිබුණා. රංජිත් කියන්නේ හොඳ රියැදුරෙක්. ඒත් එදා හදන්න බැරි වැරැද්දක් වුණා.” 

- ඒ රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ එවකට ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ලෙස කටයුතු කළ, පසුකාලීනව දුම්රිය සමාන්‍යාධිකාරිවරයෙකු වූ පී. පී. විජේසේකර මහතා.
“මම ඒ වෙලාවේ කන්සලගමුවෙ ඉඳන් කිරිවල්ලාපිටියට පයින් එනකොට තමයි කෝච්චිය පහළ ආවේ. දිග හෝන් සද්දයක් ඇහුණත් ගමනෙ වෙනසක් තේරුණේ නෑ. විනාඩියක් යන්න හම්බුණේ නෑ, ලොකු සද්දයක් එක්ක කෝච්චිය පෙරළෙනවා දැක්කා. මම හිතන විදියට මම තමයි කන්ද පැත්තෙන් එතනට මුලින්ම ගියේ. පස්සේ සෙනඟ වටවෙලා තුවාලකාරයෝ බස්වල පටවගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා. තුවාලකාරයින් එකපාර පාරකට ගන්න බෑ. මඩ නාගෙන කුඹුරු දිගේ තමයි පාරට අරන් ගියේ. ගමේ සමහර තරුණයෝ තුවාල වුණු ළමයි අත්දෙකට අරන් ඉස්පිරිතාලෙට දිව්වා.” 

- ඒ අනතුර සිදුවූ වෙල්යාය ආසන්න ගොඩගන්දෙණියේ පදිංචි ලාල් කුමාර මහතා.
“ඒ වෙලාවේ මම හිටියේ මගේ කඩේ මිදුලේ. උඩින් එන කෝච්චිය එකපාරට වේල්ල ගාවදි නැතිව ගියා. ලොකු සද්දෙකුත් ඇහුණා. අනතුරක් බව තේරුණු නිසා කඩවල් පැත්තක දාලා එතෙන්ට ගියා. ගමේ කට්ටිය එකතු වෙලා බස් එහෙම ආපහු හරවගෙන තුවාලකාරයින් ඉස්පිරිතාලෙට ගෙනිච්චා. කිසිම මඟියෙකුගේ දේපළක් කොල්ලකන්න නොදී මමත් ඇතුළු කිහිප දෙනෙක් ඒ දේවල් ආරක්ෂා කළා. ගැහැනු අයගේ ආභරණ, ඔරලෝසු පවා ඒ ඒ අයගේ ඇඳුම්වල ගැට ගහල තමා ඉස්පිරිතාලෙට යැව්වේ. ඒ සතියේ පත්තරවල අපිට ස්තූති කරලා කතුවැකිත් ලිව්වා. සමහරු අවුරුදු ගාණක් යනකන් අපිට ස්තූති කරන්න මේ ගමටම ආවා. ” 

-කිරිවල්ලාපිටියේ හෝටලයක් පවත්වාගෙන යන විශ්‍රාමික පරිවාස නිලධාරියෙකු වන නිමල් අමරසිංහ මහතා.

එදා මේ දුම්රියේ ගමන්ගත් මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉර්ෆාන් නමැති 26 හැවිරිදි තරුණයාගේ සුසුම්නාවට හානි වීම නිසා අදටත් පූර්ණ කාලීන ආබාධිතයෙකු ලෙස කල් ගෙවන බවකුත්, ඒ වෙනුවෙන් ඔහු හට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවා ඇති බවකුත් මෙම සිදුවීමෙන් වසර 18කට පසුව 2020 ජනවාරි මස අද දෙරණ පුවත්පත් වාර්තාවක කියැවුනා.

දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 100ක පමණ පාඩුවක් සිදුවූ මේ අනතුරින් පසුව, එක් දිනක් තුලදී දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කරගත හැකි ලෙස මාර්ගය අලුත් වැඩියා කෙරුණු අතර වෙල් යායට පෙරළුණු දුම්රිය මැදිරි රඹුක්කන දුම්රිය ස්ථානය අසළට ගෙනැවිත් දැමුණා. අනතුරින් වසර 14කට පසුව 2016 වසරේදී මේ මැදිරි පරණ අබලි යකඩ ලෙසට කපා ඉවත් කර දැමුණා. සම්පූර්ණ අළුත්වැඩියාවකට ලක්වුණු, මේ කිසිවක් නොදත් M6-788 අදටත් කඩුගන්නාව හරහා නිතර එහා මෙහා යනවා.

Wordpress Social Share Plugin powered by Ultimatelysocial
error: Content is protected !!